ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් මට්ටමේ

ගෝලීය ආර්ථිකය හා සම්බන්ධ වීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානමට ලක්වීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා  කොළඹ දී අද (6) පැවැසීය.

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇතැයි ද මහාචාර්ය ලක්ෂ්මන් මහතා කීවේය.

ශ්‍රී ලංකා මහ බැංකුව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන “ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙර දැක්මේ” 13 වන ප්‍රකාශය ඉදිරිපත් කරමින් ලක්ෂ්මන් මහතා ඒ බව කීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාශයට පත් කෙරුණි.

අභ්‍යන්තර හා බාහිර සිදුවීම්වලින් හා තත්ත්වවලින් පැන නැගුණු ඇතැම් පීඩා මධ්‍යයේ වුවද වර්තමානය වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය ‘ඉහළ මැදි ආදායම්’ තත්ත්වයකට පත්ව ඇතැයි ද මහාචාර්ය ලක්ෂ්මන් මහතා එහිදි කීවේය.

ගෝලීය ආර්ථිකය සමඟ ඒකාබද්ධ වීමේ අඛණ්ඩ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා ආර්ථිකය අවදානමට ලක්වීමේ හැකියාවක් ඇති බව කී හෙතෙම එලෙස ඇතිවිය හැකි බාධකවලින් ආර්ථික වර්ධනය හා සමස්ත සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව යන අංශ දෙකටම පීඩනයක් එල්ල කළ හැකි බව ද කීවේය.

නූතන, ගතික සහ නිර්මාණශීලීත්වයෙන් යුතු ආයතනයක් ලෙස අපේ උරුමය අඛණ්ඩව පවත්වා ගෙන යන බව කී මහ බැංකු අධිපතිවරයා අඩු උද්ධමනයක් සහ ස්ථාවර ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කරන බව ද කීවේය. එම ප්‍රතිපත්ති සකස් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩව පෙර සූදානමක් සහිතව ක්‍රියා කරන බව ද ඔහු කීය.  එම ප්‍රතිපත්තිවලින් සියලු දෙනා සඳහා අවස්ථා නිර්මාණය කිරීමටත් සියලු දෙනා අතරේ ප්‍රතිලාභ බෙදී යන පරිදිත් සියලු දෙනාගේ සහභාගීත්වය සහිත ආර්ථික වර්ධනයක් උදා කරන බව ද හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකා ආර්ථිකය පවතිනුයේ තීරණාත්මක සන්ධිස්ථානයක යැයි කී හෙතෙම ස්වෛරී රාජ්‍යයක් ලෙස දශක ගණනාවක් පුරා කළ ප්‍රතිපත්ති සම්පාදනය තුළින් ආර්ථිකයේ බොහෝ අංශ ප්‍රගතියක් ලබාගෙන ඇතැයි ද කීවේය. සමාජයීය වශයෙන් ගත් කළ ද රට කැපී පෙනෙන අභිවෘද්ධියක් ළඟා කරගෙන ඇතැයි ද ඔහු කීවේය.