ග්‍රාමීය පාසල් සංවර්ධනයට SLT පැමිණේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරුවා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) මෙරට ජනතාවගේ සුබසිද්ධිය උදෙසා නොයෙක් සමාජ සත්කාරක වැඩසටහන් නිරන්තරයෙන්ම පවත්වනු ලබයි. තවත් එවන් විශේෂ සමාජ සත්කාර (CSR) වැඩසටහනක් ආණමඩුව රළපනාව ප්‍රාථමික විද්‍යාලයේදී පසුගියදා සාර්ථකව පවත්වන ලදී.

රටේ ග්‍රාමීය පාසල් නගා සිටුවීමට ආධාර කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පවත්වනු ලබන සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස මෙය පැවැත්විණි.

පාසල් දුවා දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඔප්නංවනු වස්, රළපනාව ප්‍රාථමික විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය සඳහා පරිගණක සහ පරිගණක උපාංග හා ඊට අවශ්‍ය ගෘහ භාණ්ඩ මෙන්ම සිසුන් අතර කියවීමේ පුරුද්ද වැඩිකිරීම සඳහා පාසලේ පුස්තකාලයට අවශ්‍ය පොත් ලබාදීමද මෙම සමාජ සත්කාරක වැඩසටහනේදී සිදු කෙරිණි.

සිසු සිසුවියන් ක්‍රීඩා සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි යොමුකිරීම හා මේ වනවිටත් යොමුව ඇති සිසු සිසුවියන් දිරි ගැන්වීමේ අරමුණින්, එම අංශයන්හි ඉහළ දක්ෂතා දැක්වූ දරු දැරියන් ඇගයීමද මෙම වැඩසටහනේදී සිදුවිය.

දිවයින පුරා විවිධ පාසල්වලට අවශ්‍ය පොත් පත් සහ පාසල් උපකරණ ලබාදීම හා සුවිශේෂී දක්ෂතා සහිත සිසුන් ඇගයීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කරනු ලබන මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ මෙන්ම දෙමාපිය දූ දරුවන්ගේද නොමද පැසසුමට ලක්වූවකි. 

මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වන්නේ  අධ්‍යාපන කේෂ්ත්‍රය හා ප්‍රජාව සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීම සහ පවත්වාගෙන යාමයි. 

එසේම රටේ අධ්‍යාපන ප්‍රමිතිය ඉහළ නැංවීමට සහාය වන අතර අනාගත පරපුරට වගකිවයුතු පුරවැසියන් බිහිකිරීම සහතික කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් මෙමගින් ඉටු කරනු ලබයි. 

දැනුම්වත්, චරිතවත් සහ අවංක දරු පරපුරක් සමාජයට දායද කිරීමට මෙම වැඩසටහන් තවදුරටත් වර්ධනය කර ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අපේක්ෂාව වේ.