රජයේ සියළු ඩිජිටල් සේවා හා සම්බන්ධ ව්‍යාපෘති කළමනාකරණය හා අධීක්ෂණය ICTA යටතට

රාජ්‍ය අංශයේ සියළුම අමාත්‍යංශ හා ආයතන යටතේ ක්‍රියාත්මක වන පොදු ජනතාවට බලපාන සියළු ඩිජිටල් තාක්ෂණික සේවා හා තාක්ෂණ ව්‍යාපෘති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කළමනාකාරිත්වය හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ බව සදහන් කළේ අද (23) පෙරවරුවේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) කාර්යය මණ්ඩලය අමතමිනි.

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණය ගනු ලැබුවේ රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සදහායි. වැඩිම අමාත්‍යංශ ගණනාවක් ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවරා ගනු ලැබුයේ එහි වැදගත් කම හා අවශ්‍යතාව නිසයි.“ බව මෙහිදී වැඩිදුරටත් කාර්ය මණ්ඩලය ඇමතූ කමල් ගුණරත්න මහතා පැවසීය.

ජනාධිපතිතුමාගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදී ඇති බවත් අදාළ ඉලක්ක සපුරා ගැනීමට සියළු දෙනාගේ කැපවීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන මහාචාර්ය ලලිත් ගමගේ, ආචාර්ය සංජීව වීරවර්ණ, රෙෂාන් දේවපුර, වසන්ත දේශප්‍රිය, මනෝරි උනම්බුව යන මහත්ම මහත්මීන් හා ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී හේරත් ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරන්‍යා සමරසේකර මහත්වරු ඇතුළු සෙසු නිලධාරීන් ද එක්වී සිටියහ.