CRIB රිපෝට් සලකා ණය ලබාදීම ප්‍රතික්ෂේප කරන්න එපා – ශෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව මත පමණක් පදනම්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා දීම ප්‍රතික්ෂේප නොකරන ලෙස සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් ඉල්ලීමක් කරයි. 

ණය තොරතුරු කාර්යාංශය යනු පුද්ගලයකුට ණය ලබා දීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කරන ආයතනයක් නොවන බවත් එම ආයතනය සිදු කරන්නේ ගනුදෙනුකරුවක්ගේ ණය තත්ත්වයන් පිළිබඳ වාර්තා සැපයීම පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

සේමසිංහ මහතා මේ බව කියා සිටියේ සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන් සමග අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය. 

“ඇතැම් බැංකු තමන් වෙත ණය ලබා ගැනීමට එන ගනුදෙනුකරුවාව හරවා යවන ක්‍රමවේදයක් බවට මේ CRIB Report එක එහෙමත් නැත්නම් ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව පත් කරගෙන තියෙනවා. 

ණය තොරතුරු කාර්යාංශයෙන් වෙන්නෙ කෙනෙකු දැනට ලබාගෙන ඇති ණය සහ ඊට අදාළ තොරතුරු ස්වාධීනව ප්‍රකාශයට පත් කිරීමයි. 

එම ආයතන කිසිදු අවස්ථාවක පුද්ගලයකුට ණය ලබා නොදෙන්න කියල නිර්දේශ කරන්නෙ නෑ. ඒ වගේ ම තමයි මේ ණය තොරතුරු කාර්යාංශය කිසිවකු අසාදු ලේඛන ගත කරන්නෙ නැහැ .

නමුත් ඇතැම් බැංකු මෙම වාර්තාව යොදා ගනිමින් ලබා දිය හැකි ණය පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් වගේ ම විශේෂයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් දැනුම්වත් විය යුතුයි.

අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන් ම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වගේ ම ඒ ඒ ප්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මේ අවස්ථාවට සහභාගී කරවා ගන්න අපේක්ෂා කරනවා.” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.