රටපුරා ව්‍යාපෘතිවල සිටින චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිලිවෙලක්

කොළඹ නගරයේ සහ රටපුරා ස්ථාන රැසක මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරයි.

වෛද්‍යවරුන් , සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් එම ව්‍යාපෘති ස්ථානවලට ගොස් නව කොරෝනා වෛරස සම්බන්ධයෙන් දැනුම්වත් කරන අතර රෝග ලක්ෂණ සහිත චීන ජාතිකයින්  හමුවුව හොත් ඔවුන් ඉතා කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.

කොළඹ නගරයේ සහ තවත් ප්‍රදේශ ගණනාවක චීන ජාතිකයින් විශාල සංඛ්‍යාවක් සේවය කරන අතර ඔවුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බවද පබා පළිහවඩන මහත්මිය කීවාය.

යම් අයුරකින් සැක සහිත රෝගීන් හමුවුණ හොත් ඔවුන් වෙන වෙනම නිරෝධානය කිරීමට පියවර ගන්නා බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවැසුවාය .

මීට අමතරව එම ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින්ට රෝගයෙන් වැළකීසිටීම සඳහා වන මනා සෞඛ්‍ය පුරුදු පිළිබඳව අවබෝධයක් ලබාදෙන බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.