වුහාන් ගිය ශ්‍රී ලංකන් එයාලයින් කාර්ය මණ්ඩලයට ජනපති හරසර

කොරෝනා වෛරසය පැතිරයාම නිසා වසා දැමුණු  චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සඳහා ජීවිත අවදානම ද නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇගයීමට ලක්විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද (03)  ජනාධිපති කාර්යාලයේ දී භෝජන සංග්‍රහයකට ද එක්වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා, අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ මෙහෙයුමට එක් වූ ගුවන් නියමුවන්, ඉංජිනේරුවන් හා කාර්ය මණ්ඩලය මෙහිදී ජනාධිපතිවරයාගේ ප‍්‍රශංසාවට ලක්විය.

මෙහෙයුමට එක් වූ සමස්ත කාර්ය මණ්ඩලය මවුබිම වෙනුවෙන්  කළ කැපවීම රටේ සෑම ක්ෂේත්‍රයකටම වැදගත් ආදර්ශයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී පැවසීය.

මෙහිදී ගුවන් නියමුවාගේ සිට සියලුම දෙනා එකම අරමුණකින් ක්‍රියා කළ බව කී ජනාධිපතිවරයා ඔවුන් ගත් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නම ඉතිහාසයට එක් වූ බව ද සඳහන් කළේය.

ජාතික අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉදිරියට ගෙන යාමටත්, ලොව ප‍්‍රධාන ගුවන් සමාගම් සමඟ සමසේ නැගී සිටිය හැකි ආයතනයක් බවට  පත් කිරිමටත් පූර්ණ සහාය දෙන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.