2020 ජනවාරි මාසය තුල චීන සංචාරකයන් 22,363ක් මෙර⁣ටට ඇවිල්ලා

2020 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය 22,363ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන වලින් අනාවරණය වෙයි.
2020 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 226,094 කි. 2019 වසරේ ජනවාරි මාසයේ දී මෙම අගය 244,239 ක් ලෙසින් වාර්තා වූ අතර මේ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම සමස්තයක් වශයෙන් 7.4%කින් පහළ ගොස් තිබේ.

2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලාවෙන් අනතුරුව මෙරට සංචාරක කර්මාන්තය දැඩි පසුබෑමකට ලක් වූ අතර ඉන්පසු තනි මාසයක් තුළ පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය පසුගිය 2019 දෙසැම්බර් මාසයේ දී වාර්තා විය. එය 241,663 කි. මේ අනුව මාසික පදනම මත 2019 දෙසැම්බර් මාසයට වඩා 2020 ජනවාරි මාසයේ දී සංචාරක පැමිණීමෙහි 6.44% ක පහළ යාමක් වාර්තා වේ.

මේ අතර පසුගිය ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය 22,363ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය 2019 ජනවාරි මාසයේ දී පැමිණි 26,414 ක්වූ චීන සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 15.3%ක පහළ යාමකි. 2019 දෙසැම්බර් මාසයේ දී චීන සංචාරකයින් 16,648 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මාසික පදනම මත 2019 දෙසැම්බර් මාසයට වඩා 2020 ජනවාරි මාසයේ දී එම ප්‍රමාණය 34%කින් ඉහළ ගොස් ඇත.

2020 ජනවාරි මාසයේ දී චීනෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාවෙන් 10%කට ආසන්න වෙයි.