මෙරට සංවර්ධනයට ලෝක බැංකුවේ අඛණ්ඩ සහය

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කාලපීය උප සභාපති හාට්විග් ෂේෆර් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ හොඳම මානව සංවර්ධන දර්ශක සහිත ඉහල මධ්‍යම ආදායම් ලබන රටක් බවයි.

ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරයක නිරත වූ හාට්වික් ෂේෆර් සිය සංචාරය නිමා කරමින් මෙම අදහස් පල කර තිබේ.

මෙම සංචාරය තුළ දී ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල යන මහත්වරුන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සාකච්ඡා පවත්වන ලදී.

නව දේශිය උපායමාර්ගය සකස් කිරිමේදී හා සංවර්ධන හවුල්කරුවන් ලෙස සහයෝගිතාවය ලබාදීමේ දී රජය සමඟ සමීපව කටයුතු කිරිමට බලාපොරොත්තු වන බව ද ෂේෆර් මහතා පවසයි.

සිය සංචාරයේදී ඒ මහතා රජයේ ප්‍රධාන ප්‍රමුඛතා වන මානව හා භෞතික ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරිම, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ, තරුණ තරුණියන් සඳහා පුහුණු රැකියා උත්පාදනය කිරිම සහ වේගයෙන් වයස්ගත වන ජනගහනයක සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීම වැනි කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

තිරසාර සංවර්ධනය සඳහා සංචාරක ව්‍යාපාරය කෙරෙහි රජය දක්වන අවධානය ද ෂේෆර් මහතාගේ පැසසුමට ලක්ව ඇති අතර කෘෂි කර්මාන්තයේ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරිම සහ වර්ධනය කිරිම සඳහා ක්‍රමවේදයන් සකස් කිරිම පිළිබඳව සාකච්ඡා කර තිබේ.