එයාර්බස් සමාගම යූරෝ බිලියන 1.36 ක් පාඩු ලබයි

2019 වසරේදී යූරෝ බිලියන 1.36ක ශුද්ධ පාඩුවක් සිදුව ඇතැයි ‘එයාර්බස්’ සමාගම ඊයේ(13) නිවේදනය කළේය. 

අල්ලස් දීමේ චෝදනාවක් හේතුවෙන් ‘එයාර් බස්’ සමාගමට යූරෝ බිලියන 3.6ක දඩයක් ගෙවීමට සිදුවීමත් අමතර සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය වසරේදී විශාල වියදමක් දැරීමත් නිසා එයාර්බස් සමාගමට එලෙස පාඩු විඳීමට සිදුව ඇතැයි වාර්තා වෙයි.

‘එයාර්බස්’ සමාගම ඔවුන්ගේ ‘ඒ400එම්’ ප්‍රවාහන ගුවන් යානය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අමතර පිරිවැයක් දැරුවේය. 

සිය සමාගමේ මෙහෙයුම් ලාභ යූරෝ බිලියන 6.9ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක්) දක්වා ඉහළ ගිය බව ද ‘එයාර්බස්’ සමාගම සඳහන් කළේය.

2019 වසරේදී වාණිජ ගුවන් යානා 863ක් බාරදුන් බවත් එය 2020 වසරේ දී එය 880ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම ප්‍රකාශ කළේය. 

“අපි 2019 වසරේදී බොහෝ දේ අත්පත් කරගත්තා. අපි ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කළා. වාණිජ ගුවන් යානා අලෙවිය ඊට ප්‍රධාන වශයෙන් හේතු වුණා” යැයි එයාර්බස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගිලාම් ෆූරි පැවසීය.

 සැක කටයුතු අයුරින් ගුවන් යානා අලෙවි කිරීම නිසා එයාර්බස් සමාගමට එරෙහිව දූෂණ චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ද පැවැත්වේ. ඒවා සමථයකට පත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ එක්සත් ජනපදයට යූරෝ බිලියන 3.6ක දඩයක් ගෙවීමට එයාර්බස් සමාගම එකඟතාව පළ කර ඇත.

2018 වසරේදී වාණිජ ගුවන් යානා සඳහා ඇණවුම් 747ක් ලැබුණු බවත් පසුගිය වසරේ දී එය 768ක් දක්වා ඉහළ ගිය බවත් එයාර්බස් සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.