ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට රුසියාවට හැකිවේවි – රුසියානු තානාපති

රටේ වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනයකදී ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් (NPP) ඉදිකිරීමට හැකිවනු ඇති බව මෙරට රුසියානු තානාපති යූරි මැටේරි ප්‍රකාශ කර තිබේ.

” ශ්‍රී ලංකා රජය පරිසර දූෂණයෙන් තොර බලශක්තියට කැමැත්තක් දක්වනු ලබනවා. ගල් අඟුරු සහ දැවී තෙල් ක්‍රමයෙන් ගෑස් හා විකල්ප බලශක්ති ප්‍රභවයන් මගින් ප්‍රතිස්ථාපනය කිරීම අරමුණු කර ගෙන ඇති බැවින් දිගුකාලින ක්‍රමවේදයක් සඳහා න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන උත්සාහයන් දැනටමත් ආරම්භ කර ඇති බව” රුසියානු වෙබ් අඩවියක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ .

2017 වර්ෂයේදී ශ්‍රී ලංකා බලධාරීන් හමුවී මේ සම්බන්ධයෙන් වන අන්තර් රාජ්‍ය ගිවිසුම ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක්ද රුසියානු න්‍යෂ්ටික සමාගම වන Rosatom හි නිලධාරීන් විසින් සිදුකළ බව රුසියානු තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ .