DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශුරතා තරගාවලිය සඳහා අයඳුම්පත් කැඳවයි

DSI සමාගම විසින් 1991 වසරේ සිට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන සුපර් ස්පෝට්ස් ශුරතා තරගාවලියේ අරමුණ බවට පත්ව ඇත්තේ නගරබද හා ග්‍රාමීය වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබාදීම හා අවශ්‍ය සහයෝගය ලබාදීමත්, ඔවුන්ට සිය කුසලතා පෙන්වමින් ජාතික හා ජාත්‍යන්තර පිටිය තුළ තවදුරටත් ඉදිරියට යෑමට අවස්ථාව සලසාදෙන ජාතික මට්ටමේ වේදිකාවක් ගොඩනැඟීමත්ය.

තරගාවලිය සඳහා වූ අයැදුම්පත් පෙබරවාරි 15 වැනි දා සිට අදාළ පාසල්වලින් සහ දිවයින පුරා පිහිටි DSI ප්‍රදර්ශනාගාරවලින් ලබාගැනීමට හැකිය. සම්පූර්ණ කරන ලද අයැදුම්පත් ළඟම පිහිටි DSI ප්‍රදර්ශනාගාරය වෙත භාරදිය යුතුය. එමෙන්ම අලෙවි අංශය, නො 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම යන ලිපිනයට තැපැල් මඟින් යොමුකිරීමට ද අවස්ථාව ඇති අතර සියලුම අයැදුම්පත් පෙබරවාරි 25 වැනිදාට පෙර යොමු කළ යුතුය.

“2020 වසර DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශුරතා තරගාවලියේ 20 වැනි අදියර සනිටුහන් කිරීම නිසා එය DSI සමාගමේ අපට ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. දිවයින පුරා පාසල්වල යොවුන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමේ වේදිකාවක් බවට පත්ව ඇති, බොහෝ දෙනා අපේක්ෂා කරන වාර්ෂික තරගාවලියක් වන මෙයට අනුග්‍රාහකත්වය ලබාදීමට හැකිවීම DSI සමාගට සතුටක් වගේම වරප්‍රසාදයක්.” යනුවෙන් ඩී. සැම්සන් සහ පුත්‍රයෝ (පෞද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය .