අපනයන කලාපයන්හි යටිතල පහසුම් සංවර්ධනය රු. මිලියන 22ක්

අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2,287,677 ක මුදලක් වෙන් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
 ආයෝජන මණ්ඩලය විසින් මෙම මුදල වෙන් කර තිබෙන අතර එම මුදල් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 628,264 ක් ද , පසුගිය වසරේ අනුමත වූ ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 400,551 ක් හා නව ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 1,258,862 ක් ලෙස වෙන් කෙරෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය .
 
 මේ වසරේ දී ආයෝජන මණ්ඩලයෙන් සිදු කෙරෙන ප්‍රධාන ව්‍යාපෘතියක් වන්නේ සීතාවක ආයෝජන කලාපයේ පොදු අප ජල පවිත්‍රාගාරය සංවර්ධනය කිරීම වන අතර  ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 564ක් යැයිද ඒ මහතා පැවැසීය.

තවද හොරණ අපනයන සැකසුම් කලාපයේ දී සංවර්ධන ව්‍යාපෘති රැසක් , අපජල පවිත්‍රාගාරය බලශක්ති ඉතිරිකිරීමේ ආලෝකකරණ පද්ධති භාවිතා කරමින් ආලෝක පද්ධති නවීකරණය, ඉඩම් සංවර්ධනය හා මාර්ග ආශ්‍රිත වැටවල් ප්‍රතිසංස්කරණය, ජල සැපයුම් වැනි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සදහා ප්‍රතිපාදන වෙන් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.  

මීට අමතරව කටුනායක, බියගම, අත්තනගල්ල, මල්වත්ත, වතුපිටිවල, මීරිගම වැනි අපනයන සැකසුම් කලාප වලද මාර්ග සංවර්ධනය, විදී ලාම්පු සවි කිරීම, පානීය ජල පහසුකම් වැඩි දියුණු කිරීම වැනි කටයුතු ක්‍රියාත්මක කරන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

මේවන විට  දිවයින පුරා ක්‍රියාත්මක අපනයන සැකසුම් කලාප සංඛ්‍යාව 15 ක් වන අතර කටුනායක, බියගම, කොග්ගල, නුවර, මීරිගම, මල්වත්ත, සීතාවක, මිරිජ්ජවිල, වතුපිටිවල, හොරණ, පොල්ගහවෙල, මාවතගම, වගවත්ත, වගවත්ත 2 හා බිංගිරිය එම අපනයන සැකසුම් කලාප වේ.

මෙම අපනයන සැකසුම් කලාප වල කර්මාන්තශාලා 273 ක් පිහිටා ඇති අතර 137,478 ක් සේවය කරති.