ටෝකියෝ මැරතන් තරඟය අවලංගු කරයි

මාරාන්තික නව කොරෝනා වයිරසය ජපානය තුළ ද ව්‍යාප්ත වීම නිසා ටෝකියෝ මැරතන් තරගාවලියේ ආධුනිකයන් වෙනුවෙන් පැවැත්වෙන ධාවන තරගාවලිය අවලංගු කිරීමට එහි බලධාරීන් ඊ⁣යේ දින (17) පියවර ගෙන තිබේ.

කොරෝනා වයිරසය පෙරට වඩා වේගයෙන් රට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි ජපන් රජය නිවේදනය කිරීමත් සමඟ සංවිධායකයන් ඉහත තීරණය ගෙන තිබේ.

මේ හේතුවෙන් ධාවකයන් 38,000කට පමණ ධාවන තරගයට සහභාගී වීමට සිදු නොවන බව වාර්තා වෙයි.
‘‘ටෝකියෝ නුවරින් කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු පිළිබඳ සිදුවීම් කිහිපයක් වර්තා වී තිබෙනවා. මේ නිසා අපට මේ තරගය සංවිධානය කිරීමේ දුෂ්කරතාවක් තිබෙනවා. ඒ නිසා තරගය අවලංගු කිරීමේ අවාසනාවන්ත තීරණයට එළැඹීමට අපට සිදුවුණා යැයි ටෝකියෝ මැරතන් පදනම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම තීරණයෙන් රෝද පුටු භාවිත කරමින් මැරතන් තරගයට එක්වන ධාවකයන් ඇතුළු ප්‍රවීණ ධාවකයන්ට බලපෑමක් සිදු නොවන බව සංවිධායකයන් පවසයි. රෝද පුටු මැරතන් තරගකරැවන්ට ඒ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ මාර්තු 1 වැනිදා පැවැත්වීමට නියමිත මැරතන් ධාවන තරගයට ලියාපදිංචි වූ ධාවකයන් දස දහස් ගණනකින් ධාවකයන් 200කට පමණි.
ටෝකියෝ මැරතන් තරගයට ඉදිරිපත් නොවන්නැයි එහි සංවිධායකයෝ පසුගිය සතියේදී චීන තරගකරැවන්ගෙන් ඉල්ලා සිටියහ.

මේ වසරේ පැවැත්වෙන ධාවන තරගයට ලියාපදිංචි වූ චීන තරගකරැවන් ද ඇතුළුව ආධුනික ධාවකයන්ට 2021 වසරේ පැවැත්වෙන ටෝකියෝ මැරතන් තරගයට සහභාගී වීමට අවස්ථාව උදා වේ. කෙසේ නමුත් ඔවුන්ට යෙන් 5,600 සිට (ඇමෙරිකානු ඩොලර් 50) සිට යෙන් 18,200 දක්වා ඇතුළු වීමේ මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි ද සංවිධායකයෝ සඳහන් කළහ.

මේ වසරේ පැවැත්වෙන මැරතන් ධාවන තරගයට ගෙවූ ඇතුළු වීමේ ගාස්තුව නැවත නොගෙවන බව ද සංවිධායකයෝ පවසති .