ඩයලොග් ආසියාටා හා අයෝජන මණ්ඩලය අතර ඩොලර් මිලියන 254.1 ක අයෝජන ගිවිසුම්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන විශාලතම විදේශ සෘජු ආයෝජකයා වන ඩයලොග් ආසියාටා සමූහය, ලංකා ආයෝජන මණ්ඩලය සමඟ පරිපූරක ගිවිසුම් දෙකක් සඳහා එළඹි බව නිවේදනය කර සිටියි.ඒ අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 254.1 ක මුදලක් ආයෝජනය කිරීම සඳහා පසුගිය පෙබරවාරි 14 දින ගිවිසුම්ගත වී තිබේ. මෙය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 46.1 ආයෝජනයකි.

ඩයලොග් ආසියාටා පීඑල්සී වෙතින් කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 190.7 කින් සහ එහි අනුබද්ධ සමාගමක් වන ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් (පුද්ගලික) සමාගමෙන් කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 63.4 කින් මෙම ආයෝජනය සමන්විත වේ. මෙම ගිවිසුම් අනුව ඩයලොග්  ආසියාටා සමූහය විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පුළුල් පරාසයක් ආවරණය කරයි. ජංගම හා ස්ථාවර 4G-LTE ජාල පුළුල් කිරීම, IP සහ ෆයිබර් ජාලවල විකාශනය සහ සමූහයේ වයි-ෆයි සහ බ්‍රෝඩ්බෑන්ඩ් ජාල තවදුරටත් සංවර්ධනය කිරීම ඊට ඇතුළත් වේ. මීට අමතරව 5G සම්බන්ධතාවය යෙදවීම තුළින් ආර්ථිකයට සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දීමට මෙම ආයෝජනය සැලසුම් කර ඇති අතර එමඟින් 5G තාක්‍ෂණයේ පුරෝගාමියෙකු ලෙස ඩයලොග් ශ්‍රී ලංකාවේ ස්ථානගත වනු ඇත. මෙය සබ්මැරීන් කේබල් හා ගොඩබෑමේ ස්ථාන සංවර්ධනය සමඟ සම්බන්ධ වන අතර එමඟින් වඩාත් විශ්වාසදායක හා ලාභදායී අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙනු ඇත.

ඩයලොග් ආසියාටා යනු ආසියාවේ දෙවන විශාලතම සන්නිවේදන සේවා සමාගම වන Axiata Group Berhad හි අනුබද්ධ සමාගමකි. එය මැලේසියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කාම්බෝජය, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ ඉන්දියාව ඇතුළු රටවල් 8 ක් පුරා ක්‍රියාත්මක වේ. දිගුකාලීන ආයෝජකයෙකු ලෙස 1994 සිට එය ශ්‍රී ලංකාවේ කටයුුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශීය ආයෝජනය ලෙස ඩයලොග් ආසියාටා සමූහය 1994 සිට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක් ආයෝජනය කර තිබේ. මෙය ශ්‍රී ලංකා රුපියල් බිලියන 320 ක් පමණ වේ. එහි ආයෝජනය රටේ මුළු සෘජු විදේශ ආයෝජන වලින් 11% කි. ආයෝජන මණ්ඩල වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව තුළ ඩොලර් බිලියන 1 ක් ඉක්මවා ආයෝජනය කරන ලද පළමු සමාගම ලෙසින් ඩයලොග් ආසියාටා හඳුනාගෙන ඇත.