ශ්‍රී ලංකාව හා ඇමරිකාව ආර්ථික සහයෝගිතා නැංවීමේ හමුවක්

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙරට ව්‍යාපාරික නායකයන් සහ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් අතර හමුවක් සිදුව තිබේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආර්ථික සබඳතා ශක්තිමත් බවත්, එය වර්ධනය කිරීමට හැකියාවක් ඇති බවත් එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

එමෙන්ම, මෙම රැස්වීමෙන් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව සමග ව්‍යාපාරික සබඳතා පුළුල් කිරීමට එක්සත් ජනපදය දක්වන කැපවීම බවද තානාපති කාර්යාල පෙන්වා දෙයි.
මෙම අවස්ථාව සංවිධානය කිරීම සඳහා විදේශ සබඳතා ආමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාට එක්සත් ජනපදයේ ස්තූතියද පිරිනමා ඇත.

මීට අමතරව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ගෞරව දැක්වීම සඳහා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් පසුගියදා කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත ගොස් තිබේ.
එහිදී දේවස්ථානයේ පියතුමන් හමුවී සාකච්ඡා කර ඇති එම පිරිස, මියගිය අය සිහිකර පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදුකර ඇත.

මෙම දේවස්ථානය නැවත ගොඩනැගීම ශ්‍රී ලාංකේය ජනතාවගේ අභියෝග ජයගැනීමට ඇති හැකියාව සහ ශක්තිය පිළිබඳ සාක්ෂියක් වන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.