මාතර – මත්තල අධිවේගී මාර්ග කොටසේ ගාස්තු අයකරයි

මාතර සිට මත්තල දක්වා අලුතින් ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ග කොටස භාවිතා කරන වාහන සඳහා ගාස්තු අය කෙරෙන බව සඳහන් කරමින් මාර්ග සහ මහාමාර්ග අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඇක්සල්  දෙකක් සහ රෝද හතරක් සහිත වාහනයකට කොට්ටාවේ සිට මත්තල දක්වා රුපියල් 750 ක් ද කඩවත සිට මත්තල දක්වා රුපියල් 850 ක්ද කටුනායක සිට මත්තල දක්වා රුපියල් 950 ක්ද ලෙස ගාස්තු අය කරනු ඇත.

ඇක්සල දෙකක් සහ රෝද හයක් ඇති වාහන සඳහා කොට්ටාවේ සිට මත්තල දක්නා රුපියල් 1400 ක්ද කටුනායක සිට මත්තලට රුපියල් 1800 ක්ද කඩවත සිට මත්තල දක්වා රුපියල් 1500 කද ලෙස ගාස්තු අයකෙරේ.

ඇක්සල දෙකට වැඩි වාහන සඳහා කොට්ටාව සිට මත්තලට රුපියල් 2400 ක් ද කටුනායක සිට මත්තල දක්වා රුපියල් 3000 ක් ද සහ කඩවත සිට මත්තල දක්වා රුපියල් 2650 ක් ද ලෙස ගාස්තු අයකරබව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

අධිවේගි මාර්ගයේ ගමන් ගන්නා ජනාධිපති ආරක්ෂක රථ පෙළට අයත් සියලු වාහන සහ අගමැති ආරක්ෂක රථ පෙළට අයත් සියලු වාහන ගාස්තු වලින් නිදහස් කරන බවද එම ගැසට් නිවෙිදනයෙහි සඳහන් කර තිබේ.