සංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට සිදුවන හිරිහැර වලක්වන්නැයි ඇමති දන්වයි

සංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීම සඳහා වහා පියවර ගන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා  එම අමාත්‍යාංශය ලේකම්වරියට සහ සංචාරක සංවර්ධනය අධිකාරියේ සභාපතිනියට අද (26) ලිපි යවමින් දැනුම් දී තිබේ.
 
ඊට  අදාළව ගත් පියවර සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීමට ද කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා අමාත්‍යාංශය ලේකම් මරීනා මොහොමඩ් සහ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු යන මහත්මීන්ට උපදෙස් දී ඇත.
 
දිවයිනට පැමිණෙන සංචාරකයන් අදාළ කුලී රථයේ සිටියදී ම එම කුලී රථ රියදුරාට වෙනත් කුලී රථ රියදුරන් හෝ මැර කණ්ඩායම් පහරදෙන හා තර්ජනය කරනු ලබන සිදුවීම් ඇතුළත් ඇතුළත් දර්ශන කීපයක් පහුගිය කාලය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබෙන හෙයින් මේ පිලිබද සොය බලා අදාළ වගකිවයුත්තන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමතිවරයා  දැනටමත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇතැයි සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.
 
ඊට අමතරව මෙවැනි සිදුවීම් වැළැක්වීමට අමාත්‍යංශය පාර්ශවයෙන් ගත හැකි සෑම පියවරක් ම ගන්නා ලෙස ඇමතිවරයා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දී තිබේ.
 
දිවයින පුරා ඇති සංචාරක කලාප ආශ්‍රිත ව කුලී රථ සේවවේ නිරත ඇතැමුන් දුරකථන යෙදවුම් ( mobile app) හරහා සංචාරකයන් කුලි රථ සේවාවන් ලබා ගැනීමට විරෝධය පළ කිරීමත් සමග මෙම ගැටුම් නිර්මාණය වී ඇතැයි සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.
 
අවාසනාවන්ත තත්ත්වය වන්නේ සංචාරකයන් සිටියදීම මෙවැනි සිද්ධීන් ශ්‍රී ලංකාව දැඩි අපකීර්තියකට පත් වන බවත් මේ තත්ත්වය සංචාරක කර්මාන්තයට ද ප්‍රබල ලෙස බලපාන හෙයින්  දිවයින පුරා සිටින සංචාරක රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතු බව යැයි අමාත්‍යවරයා පැවැසීය .

දැනටමත් කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව මෙම වැඩසටහන් ආරම්භ කර තිබෙන අතර දිවයින පුරා එය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතින්නේ යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය .