පවතින වියලි කාලගුණය සංචාරක ක්ෂෙත්‍රයටත් දැඩි බලපෑම් කරයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාස කීපයක සිට පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය සංචාරක කේෂ්ත්‍රයටද දැඩි බලපෑමක්  එල්ල කොට  ඇතැයි නුවරඑළියේ සංචාරක කේෂ්ත්‍රයේ රැකියාවන්ගේ නිරතව සිටින පිරිස් පවසති.

නුවරඑළිය හා ඒ අවට පිහිටි සුන්දරත්වයට පවතින මෙම වියළි කාලගුණික තත්ත්වය නිසා දැඩි බලපෑම් එල්ව ඇති අතර, උඩරට කඳුකරයේ පිහිටි ඩෙවෝන්, ශාන්ත ක්ලෙයාර්, ඇබඩීන්, ලක්ෂපාන, රම්බඩ, කඩියලෙන, ගැරඩිඇල්ල, ඩන්සිනන්  ඇතුළු සුන්දර දිය ඇලි රැසක මේ වනවිට ජල මට්ටම පහත වැටීමෙන් ඒවායේ සුන්දරත්වය දැක ගැනීමට සංචාරකයන්ට නොහැකිව තිබේ.

දිවා කාලයේ පවතින දැඩි අව් රශ්මිය හේතුවෙන් නිසි ලෙස නුවරඑළිය අවට සුන්දරත්වය නැරඹීම තමන්ට ගැටලුවක්ව පවතින බවත්, එමෙන්ම පවතින වියළි කාලගුණික රටාව නිසා නුවරඑළියේ පෙර කාලවල පැවැති සුන්දරත්වය දැකිය නොහැකි බව විදේශීය සංචාරකයෝ පවසති.

ශ්‍රි ලංකාවේ දැනට පවතින දැඩි රශ්මිය හේතුවෙන් බොහෝ රටවලින් මෙරටට පැමිණ සිටින විදේශිකයන් දිනයේ වැඩි වේලාවක් හෝටල් කාමරවල ගත කරන  බවත්, ඇතැම් විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම කල් දමා ඇති බවත් විදේශිකයෝ සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් සංචාරක කර්මාන්තයට සම්බන්ධ නිවාඩු නිකේතන හිමියන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාව ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය හමුවේ  සංචාරකයින්ගේ පැමිණිම ඉතා පහළ මට්ටමක ඇති බවත්, ඇණවුම් රැසක් අවලංගු වීම හේතුවෙන් ආදායම අඩුවීම නිසා බැංකු ණය වාරික ගෙවා ගැනීම ප්‍රමාද  වීම හේතුවෙන් තමන්ට ගැටලු  රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත්ය.