මෙරට සිටින සංචාරකයන්ට ලියාපදිංචි වීමට වෙබ් අඩවියක්

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ පනවා ඇති සීමා කිරීම් නිසා දැනට අපහසුතාවට පත්ව සිටින විදේශීය සංචාරකයින් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සඳහා ලියාපදිංචිවීමට www.register.sltda.gov.lk ලෙස වෙබ් අඩවියක් දියත් කළ බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙය සංචාරකයින් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සඳහා වූ ආධාරක මධ්‍යස්ථානය ලෙස නම් කර තිබේ. ඒ අනුව එම සංචාරකයින් සහ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින විදේශිකයන්ගේ තොරතුරු එක්රැස් කරගැනීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ මෙම වෙබ් අඩවිය දියත් කෙරී තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව TekGeeks (Pvt) Ltd සමාගම විසින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තු දත්ත අනුව අද වනවිට සිය මව්රටවලට යා ගත නොහැකිව ශ්‍රී ලංකාව තුළ සංචාරකයින් 11,389ක් පමණ සිටින බව එම අධිකාරිය පවසයි.

“සියලු ජාත්‍යන්තර සංචාරකයින්ට සහ ලංකාවේ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින විදේශිකයන්ට මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ආරාධනා කරනවා. මෙම වෙබ් අඩවිය මගින් කොවිඩ්19 වසංගතය, අත්‍යවශ්‍ය සංචාරක තොරතුරු යනාදී දේ පිළිබඳ තොරතුරු සැපයෙනවා.”සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

“විශේෂයෙන්ම මෙම වෙබ් අඩවිය තුළ ලියාපදිංචි වීම හරහා ශ්‍රී ලංකා සංචාරය කරන ජාත්‍යන්තර සංචාරකයින් මෙන්ම ව්‍යාපාරිකයන් සහ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින විදේශිකයන්ගේ දත්ත ගබඩාවක් ලෙසද ක්‍රියා කරනු ඇතැයි”ශ්‍රී ලංකා සංචාරක සභාපතිනි කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.