ඩීමෝ සහ සීමන්ස් ජාතික විදුලි බල සැපයුම දියුණු කිරීමට ලංවිම සමඟ එක්වෙයි

ලංකා විදුලි බල මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ‘ජාතික විදුලි සම්ප්‍රේෂණ, බෙදාහැරීම් ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ̓ සඳහා ඩීමෝ, සීමන්ස් සමාගම හා එක්ව ලංකා විදුලි බල මණ්ඩලය සමග ගිවිසුමකට අත්සන් තැබීය. එම ව්‍යාපෘතියෙහි  package 4 Lot A කොටස, බලශක්ති උත්පාදනය, තාක්ෂණික හා විදුලි විසඳුම් සැපයීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පිළිගත් සමාගමක් වන සීමන්ස් හි හවුල්කාරිත්වය ඇතිව ඩීමෝ විසින් සිදු කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය හා ඩීමෝ- සීමන්ස් යන දෙපාර්ශවය අතර එකඟතා ගිවිසුම අත්සන් තැබීම ලංකා විදුලි බල මණ්ඩල මූලස්ථානයේදී සිදු කෙරිණි. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, නියෝජ්‍ය සභාපති, වයි. ජී. අයි සමන් කුමාර, විදුලි බල මණ්ඩල ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්. එච් දිද්දෙණිය, ලංකා විදුලි බල මණ්ඩල ව්‍යාපෘති කළමණාකාර වික්‍රමසිංහ, සීමන්ස් බෙදාහැරීම් පද්ධති ව්‍යාපාර අංශ ප්‍රධානී නිකිලේෂ් අමොන්කර්, සීමන්ස් ලිමිටඩ් හි මූල්‍ය කළමනාකාර මිතුල් ජාවේරි, සීමන්ස් හි ශ්‍රී ලංකා ප්‍රධානී ප්‍රසාද් පල්සෝකර්, සීමන්ස්හි දේශීය ව්‍යාපාර අංශ ප්‍රධානී ප්‍රකාශ් කුමාර් චන්ද්‍රසේකර්, සීමන්ස් හි ව්‍යාපාර අංශ මුල්‍ය ප්‍රධානී වෙන්කටේෂ් සාරතී, ඩීමෝ හි විධායක අධ්‍යක්ෂ සරත් අල්ගම, ඩීමෝ හි විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල හා ඩීමෝ හි සාමාන්‍යාධිකාරී ජානක රොඩ්‍රිගු යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගි වූහ.

ජාතික විදුලි සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, මහ-කොළඹ සහ ඒ අවට ප්‍රදේශයන්හි ජාතික විදුලි සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාලයේ ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින්, JICA අරමුදල් ඇතිව, රජය මගින් ක්‍රියාවට නංවන ව්‍යාපෘතියකි. එමගින්, විදුලි සම්ප්‍රේෂණ මාර්ග, උපපොළවල්  සහ බෙදා හැරීමේ මාර්ග ඉදිකිරීම හා වැඩිදියුණු කිරීම මගින් සම්ප්‍රේෂණ දෝෂ අවම කිරීමටත්, ඉන් රට තුළ බල ශක්ති විශ්වසනීයත්වය සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමටත් හැකියාව පවතී.

“ඕනෑම ආර්ථිකයක බලශක්ති අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා වගේම රටක සංවර්ධනය සඳහා කාර්යක්ෂම හා විශ්වාසදායක විදුලිබල සැපයුමක් තිබීම වැදගත්. වසර ගණනක් පුරා ශ්‍රී ලංකාව තුළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඩීමෝ පුමුඛත්වය ගෙන කටයුතු කරනවා. එසේම ජනතාවගේ සිහින හා අභිලාෂයන් නැංවීමේ අරමුණ අනුව යමින්, සීමන්ස් හා එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකි වීම අපට ආඩම්බරයට කරුණක්” ඩීමෝ  හි සභාපති  සහ කළමණාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ මහතා පැවසීය.

ඩීමෝ හි විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා පැවසුවේ ‘ඩිමෝ හි බලශක්ති ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවීණතාවය සහ මෙම ව්‍යාපෘතියෙහි හවුල්කාර සීමන්ස් සමාගම සමග ඇති දිගුකාලීන සම්බන්ධතාවය මෙම අවස්ථාව ලබා ගැනීමට මග පෑදූ බවයි. අධි, මධ්‍යම හා අඩු සම්පීඩනයෙන් යුත් විදුලිය ස්ථාපනය කිරීම වෙනුවෙන් මෙම ක්ෂේත්‍රයේ පිළිගත් සමාගමක් ලෙසින් ඩීමෝ, CIDA සහතිකය සමග ඉංජිනේරු ක්ෂේත්‍රයේ ISO සහතික හිමි කර ගැනීම නිසා මෙම අවස්ථාව උදා කර ගැනීම, තහවුරු වූ බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතියේ package 4 Lot A මගින් දෙහිවල, ගල්කිස්ස සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල ජාතික විදුලි සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාලයේ ධාරිතාවය ඉහළ නැංවීම අරමුණු කර තිබේ. එහි විෂය පථය යටතට ප්‍රාථමික උපපොළවල් ඉදිකිරීම, බෙදාහැරීමේ උපපොළවල් සහ භූගත කේබල් තැන් පත් කිරීම ඇතුළත් වේ. බස්නාහිර දකුණ 1  ප්‍රදේශයට අයත් දෙහිවල, ගල්කිස්ස මෙම ව්‍යාපෘතියෙහි බෙදා හැරීම් අංශ 4 යටතට ගැනෙන අතර, බස්නාහිර දකුණ 2 ප්‍රදේශයට අයත් බත්තරමුල්ල, බෙදාහැරීම් අංශ 3 ලෙසින් වර්ග කර තිබේ. බස්නාහිර දකුණ ප්‍රදේශයේ ආසන්න වශයෙන් 261,427 තරම්, සුළු පරිමාණ විදුලි පාරිභෝගික පිරිසක් සහ 601 ක් තරම් මහා පරිමාණ විදුලි පාරිභෝගික පිරිසක් ද සිටිති.

දෙහිවල සහ ගල්කිස්ස ව්‍යාපෘති භූමියේ දැනට පවතින ජාලය 33/11 kV ප්‍රාථමික උපපොළවල් තුනක් හරහා පෝෂණය වන අතර මෙම ව්‍යාපෘතිය මගින් අතිරේක ප්‍රාථමික  උපපොළවල් දෙකක් සහ දැනට පවතින උපපොළක් දීර්ඝ කිරීමට සැලසුම් කෙරේ. බස්නාහිර දකුණ 2 ප්‍රදේශයේ සුළු පරිමාණ විදුලි පාරිභෝගිකයින් 391,571 ක් සහ මහා පරිමාණ විදුලි පාරිභෝගිකයින් 1,010 කට ආසන්න සංඛ්‍යාවක් සිටිති. බත්තරමුල්ල ව්‍යාපෘතියේ දැනට පවතින ජාලය 132/33 kV උපපොළක් වන අතර, මෙම ප්‍රදේශයේ බෙදාහැරීමේ ජාලය මගින් 33 kV ප්‍රමාණයක් පෝෂණය වේ. ඉලක්ක ගත 2022 වසරෙහි මෙම ව්‍යාපෘතිය අවසන් වන විට, 33/11 kV ප්‍රාථමික උපපොළවල් තුනක් හරහා ප්‍රදේශය පෝෂණය කිරීමට අපේක්ෂා කෙරේ.

ඩීමෝ සහ සීමන්ස් හවුල දශක හතකට වැඩි කාලයක් පුරා නවීන තාක්ෂණයන් සහ හොඳම විසඳුම් සමග රට තුළ විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීමේ ව්‍යාපෘති සඳහා අඛණ්ඩව වටිනාකමක් එක් කරයි. පුනර්ජනනීය බලශක්තිය, මයික්‍රෝ ග්‍රිඩ් සහ ස්මාර්ට් ග්‍රිඩ් වැනි විසඳුම් මගින් ඩීමෝ තිරසාර බලශක්ති සඳහා මග පාදන අතර එමගින් හරිත බල ශක්තිය සඳහා වන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජයට පිටිවහලක්ද සැපයේ.

චුන්නාකම් ග්‍රිඩ් උපපොළ, හබරණ ග්‍රිඩ් උපපොළ සහ නාඋල ග්‍රිඩ් උපපොළ ව්‍යාපෘති යනු දේශීය විදුලිබල අංශය නගා සිටුවීම සඳහා ඩීමෝ – සීමන්ස්  සහයෝගීතාවයෙන් නිම කරන ලද ප්‍රධාන ව්‍යාපෘති කිහිපයකි. හබරණ වේයන්ගොඩ ග්‍රිඩ් උපපොළ, අනුරාධපුර සහ මන්නාරම් හි විචල්‍ය ෂන්ට් ප්‍රතික්‍රියාකාරක ව්‍යාපෘති ඩීමෝ – සීමන්ස් හවුල්කාරිත්වයෙන් දැනට කරගෙන යනු ලබන ව්‍යාපෘතීන් වේ.