Dialog Axiata මීගමුව රෝහලට තිළිණ කල දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට – වීඩියෝ

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මාසයකටත් වඩා අඩු කාලයක් තුළදී ප්‍රතිසංස්කරණ කටයුතු නිම කොට අවශ්‍ය සියලු උපකරණ සපයමින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට සමත් විය. කඩිනමින් දැඩි සත්කාර ඒකක  අවශ්‍ය රෝහල් සංවර්ධනය සඳහා Dialog සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට රු. ලක්ෂ 2000 ක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙ‌ලෙ හි සමාරම්භය ලෙසින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට පත් කරන ලදී.

ඩයලොග් ආසිආටා හි  මූල්‍ය දායකත්වයෙන් සිදුවන දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයකින් (MICU) සහ ශල්‍ය දැඩි සත්කාර ඒකකයකින් (SICU) සමන්විත අංගසම්පූර්ණ දැඩි සත්කාර සංකීර්ණයක් ස්ථාපනය කෙරුණු අතර, එම වාට්ටු සංකීර්ණය ඇඳන් 10 කින්  සමන්විත නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර උපකරණ වලින් පරිපූර්ණ කිරීමට ද පියවර ගන්නා ලදි. 
ඩයලොග් ආසිආටා සමාගම විසින් රෝහලේ දැඩි සත්කාර පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීම තුළින් රෝහලට ඇතුළත් කරන අසාධ්‍ය තත්වයේ රෝගීන්ගේ ජිවිත ආරක්ෂා කිරීමේ අවස්ථා දිගු කාලීනව ඉහළ නැංවීම මෙන්ම බරපතල තත්වයෙන් පසුවන රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ පීඩනය අවම කිරීමටත් සහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කරන්නටත් මහෝපකාරී වනු ඇත.