නේචර් බියුටි ක්‍රියේෂන්ස් අධිපති මුදල් මණ්ඩලයට පත්කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් තිදෙනෙකු පත්කර තිබේ. එලෙස පත් කර ඇත්තේ, ප්‍රකට ව්‍යාපාරිකයකු වන සමන්ත කුමාරසිංහ, ආචාර්ය රානී ජයමහ සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්ම මහත්මීන් ය.

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව පසුගිය පෙබරවාරි 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ද ජූනි 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය රානි ජයමහ සහ සමන්ත කුමාරසිංහ ද මුදල් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පත් කර ඇත.

මේ වන විට මුදල් මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ලෙසින්, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් (සභාපති) හා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල (නිල සාමාජික) කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් වූ නිහාල් ෆොන්සේකා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් පසුගිය මැයි 31 දින සිට බලපැවැත්වෙන පරිදි සිය ධූරවලින් ඉල්ලා අස්වීමත් සමඟ මෙම පුරප්පාඩු ඇති වූ අතර මුදල් මණ්ඩලය යළි පිහිටුවීම සඳහා රජය විසින් කරන ලද දැනුම් දීමකට අනුව මෙලෙස ඔවුන් සිය සාමාජික ධුරයන්ගෙන් ඉවත් වී ඇති බව වාර්තා විය.

ජනාධිපතිවරයා විසින් අලුතින් පත්කර ඇති සාමාජිකයින් මෙසේය.

සමන්ත කුමාරසිංහ 

ප්‍රකට ව්‍යවසායකයෙකු වන සමන්ත කුමාරසිංහ, ‘නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ලිමිටඩ්’ හි සභාපති වන අතර බංග්ලාදේශය සහ වියට්නාමය යන රටවල සමාගම් රැසක සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය හොබවයි.

ඔහු ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් අධ්‍යාපන අමාත්‍යංශයේ විෂයමාලා සමාලෝචන කමිටුවේ සාමාජිකයකු ලෙසත් බදු පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙසත් කටයුතු කර ඇත.

කොළඔ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති කුමාරසිංහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා උපාධිධරයෙකු වේ.

2008 වසරේ දී වසරේ ව්‍යවසායකයා ලෙස සම්මානයට පාත්‍ර වූ ඔහු 2019 දී ජනාධිපති ගෞරව සම්මානයකින් ද පිදුම් ලැබී ය.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අවදානම් පිරික්සුම් කමිටුවේ සහ ආචාරධර්ම කමිටුවේ සභාපතිත්වය දරන ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් පළමු ජනාධිපති නීතිඥවරයා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වසර 27 ක විශිෂ්ට සේවාවකින් පසු 2012 වසරේදී ජනාධිපති නීතිඥයකු ලෙස බුහුමන් ලැබී ය.

මීට පෙර ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික මණ්ඩලයේ මෙන්ම ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කොමිෂන් සභාවේ ද සේවය කර ඇති ජයවර්ධන, 2004 වසරේදී මෙරට විශිෂ්ටතම තරුණයින් 10 දෙනා වෙනුවෙන් පිරිනැමෙන TOYP සම්මානයෙන් ද පිදුම් ලැබී ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී (ගෞරව) උපාධිධරයකු වන සංජීව ජයවර්ධන, එම විශ්වවිද්‍යාලයෙන් ම දර්ශනපති උපාධිය ද හදාරා ඇත.

ආචාර්ය රානි ජයමහ

මහ බැංකුවේ වසර 38ක සේවා කාලයක් සම්පූර්ණ කරමින් නියෝජ්‍ය අධිපතිවරියක ලෙස ද සේවය කර ඇති ජයමහ, මුදල් මණ්ඩලයේ විගණන උපදේශන කමිටුවේ සභාපතිනිය මෙන් ම උපායමාර්ගික අධ්‍යන පිළිබඳ ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ මාර්ග ආයතනයේ පාලක සභාවේ අධ්‍යක්ෂවරියක ද වන්නී ය.

ඇය මහ බැංකු කටයුතු, බැංකු රෙගුලාසි සහ අධීක්ෂණය, ඉලෙක්ට්‍රොනික ගෙවීම් පද්ධති, මූල්‍ය අන්තර්ග්‍රහණය මෙන් ම මුදල් සහ සාර්ව ආර්ථික විද්‍යාව පිළිබඳව ද වසර 45කට අධික අත්දැකීම් රැසකට හිමිකම් කියන්නී ය.

රාණි ජයමහ, මහ බැංකු සේවා කාලය තුළ දී ම ද්වීතීයනය කිරීමේ පදනම මත එවකට පැවති මූල්‍ය සහ බැංකු කටයුතු පිලිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරිය ලෙසත්, මුදල් අමාත්‍යංශයේ උපදේශකවරියක ලෙසත්, එක්සත් රාජධානියේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ විශේෂ උපදේශකවරියක ලෙසත් වරින්වර සේවය කර ඇත.

ඇය ලෝක බැංකුවේ දකුණු ආසියානු කණ්ඩායමේ ප්‍රධාන උපදේශක, බංග්ලාදේශ, බෘනායි, භූතාන, ඉරාන සහ මාලදිවයින් යන රටවල මහ බැංකුවල ගෙවීම් පද්ධති පිළිබඳ උපදේශක, ලෝක බැංකුවේ ගෝලීය ගෙවීම් කණ්ඩායමේ සාමාජික, G-8 කණ්ඩායමේ ප්‍රේෂණ කටයුතු පිළිබඳ උපදේශක සහ ජාත්‍යන්තර පියවීම් බැංකුවේ ගෙවීම් පද්ධති මාර්ගෝපදේශ කමිටුවේ සාමාජික යන මූල්‍ය සහ බැංකු කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ වගකීම් රැසක් ද දරා ඇත.

ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය මණ්ඩපයෙන් මුදල් සහ බැංකු කටයුතු පිළිබඳශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය සමත් වූ ජයමහ , එක්සත් රාජධානියේ ස්ටර්ලිං විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිධාරිණියක ද වන්නී ය.

ආචාර්ය රාණි ජයමහ හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපතිනියක ද වෙයි.