INSEE සිමෙන්ති සමාගම, මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අතර නායකත්ව හා මෘදු කුසලතා වර්ධනයට දායක වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම පසුගියදා ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය සහ කළම්බු බිස්නස් ඇන්ඩ් මැනේස්ජ්මන්ට් ආයතනය (CSBM) සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින 200කට අධික ඉංජිනේරුවන්ගේ නායකත්ව හා මෘදු කුසලතා දියුණු කිරීම එහි අරමුණ වේ. එහිදී ක්‍රමෝපායික වශයෙන් සැලසුම් කරන ලද තාක්ෂණික විෂය වැඩසටහන් පෙළක් ඔස්සේ එම ඉංජිනේරුවන්ගේ මූලික නායකත්ව හා කළමනාකරණ දක්ෂතා වැඩිදියුණු කෙරෙනු ඇත.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අදාළ පාර්ශ්ව නියෝජනය කරමින්, මාර්ග සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී. අහුළුවගේ හා අධ්‍යක්ෂ ජෙනරාල් කමල් අමරවීර, CSBM හි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති- විකුණුම්, අලෙවි සහ නවෝත්පාදන යාන් කුනික් සහ INSEE සිමෙන්ති සාමාන්‍යාධිකාරී නන්දන අමුනුතුදුව යන මහත්වරු සහභාගී වූහ.

පසුගිය කාලය මුළුල්ලේම ඉංජිනේරුවන්, තාක්ෂණික නිලධාරීන්, පෙදරේරුවන් සහ සිසුන් ඇතුළු ප්‍රධාන පාර්ශ්වකාර කණ්ඩායම් සවිබල ගැන්වීමට INSEE සිමෙන්ති සමාගම විශාල දායකත්වයක් සපයා තිබේ. ඒ යටතේ විශේෂයෙන්ම නව දැනුම සහ විශේෂඥතාව පිරිනමමින් ඉදිකිරීම් ක්ෂේත්‍රය හා බැඳුණු මානව සම්පත්වල දක්ෂතා හා කුසලතා සංවර්ධනය කිරීමට INSEE සමාගමට හැකිවී ඇත.

“ශ්‍රී ලංකාව මේ වනවිට දැවැන්ත භෞතික යටිතල පහසුකම් සංවර්ධනයක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වෙනවා. එවන් පසුබිමක දශක පහකටත් වැඩි කාලයක් ගෝලීය ව්‍යාපාර මෙහෙයුම් තුළින් අප ලබාගත් දැනුම සහ විශේෂඥතාව බෙදාදීමේ වගකීමක් අප සතුව තිබෙනවා” යැයි INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති- විකුණුම්, අලෙවි සහ නවෝත්පාදන යාන් කුනික් මහතා පැවසීය. “දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ඉංජිනේරුවන් සතුව තීරණාත්මක කාර්යභාරයක් පවතිනවා. එනිසා ඉදිකිරීම් කර්මාන්තය තුළ වේගයෙන් ඇතිවන වෙනස්කම් සහ ඉල්ලුම සපුරාලිය හැකි කුසලතාවලින් දේශීය ඉංජිනේරුවන් සන්නද්ධ කිරීමට අපි උත්සාහ ගන්නවා” ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම අවබෝධතා ගිවිසුමට එළඹීමත් සමඟ, CBSM හා එක්ව මාස දෙකක කාලයක් පුරාවට, විශේෂයෙන් මේ සඳහා ම සැකසූ තාක්ෂණික සහ මෘදු කුසලතා සංවර්ධන විෂය වැඩසටහන් පෙළක් INSEE i2i Collaboration Space හිදී පැවැත්වෙනු ඇත. INSEE i2i Collaboration Space යනු මෙරට ඉදිකිරීම් කර්මාන්තය උදෙසා නව නිෂ්පාදන හා විසඳුම් සංවර්ධනය කිරීමත්, ප්‍රවර්ධනය කිරීමත් වෙනුවෙන් කැප වූ ඒකකයකි. පෑලියගොඩ පිහිටා ඇති එම ඒකකය අති නවීන තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විත ය. ඉංජිනේරුවන්, පර්යේෂකයින්, ශිෂ්‍යයින්, නවෝත්පාදකයින්, ගෘහ නිර්මාණ ශිල්පීන්, විද්වතුන් මෙන්ම වෘත්තීය ආයතන, කර්මාන්ත සහ තාක්ෂණික ප්‍රවීණයින් හා වෙළෙඳපොළ තරගකරුවන් ඇතුළු දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන සියලු පාර්ශ්වයන් අතර සහයෝගීතාව වර්ධනයට INSEE i2i Collaboration Space විශාල දායකත්වයක් සපයයි.