යුරෝපා සංගමයෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට යූරෝ මිලියන 4.9 ක ප්‍රදානයක්

කොවිඩ් 19 හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යූරෝ මිලියන 4.9ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

මෙම යූරෝ 49ක ප්‍රදානය ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදෙන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාට දන්වා තිබේ.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර සංචාරක අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවේදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්විණ.

යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී කියාසිටියේ සංචාරක කේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රධාන කේෂ්ත්‍ර 07ක් සඳහා මෙම ප්‍රදානය ලබාදීමට අපේක්ෂා කරන බවයි. සංචාරක මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසීම, ශරීර සුවතා සංචරණය, සංචාරක කේෂ්ත්‍රයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහාය දීම,කේෂ්ත්‍රයේ නියුතු ද වූවන්ගේ සෞඛ්‍ය හා පුහුණු කටයුතු,සමාජ ආරක්ෂණ වැඩසටහන් හා ප්‍රජා පාදක සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් මෙම ප්‍රදානය හිමිවීමට නියමිතය. ඒ අනුව සංචාරක කේෂ්ත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවත්වාගෙන යන හෝටල් 54ක් සඳහා ආධාර ලබාදීමට නියමිතයි.

ලෝක කම්කරු සංවිධානය සමඟ ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය සඳහා යූරෝ ලක්ෂ 2ක් ලබාදීමටද තීරණය කර තිබේ. මධ්‍යම හා ඌව පළාත් කේන්ද්‍ර කරගත් ප්‍රජා පාදක සංචාරක ව්‍යාපාරය උදෙසා යූරෝ මිලියනයක් වෙන් කිරීමට කටයුතු ද යොදා ඇත.

යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී කියාසිටියේ කොවිඩ් 19 පාලනය කෙරුණු හොඳම රට ශ්‍රී ලංකාව බවයි. එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් බව පැවසූ තානාපතිවරයා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට,අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට සිය ප්‍රශංසාව හිමිවන බවද කීවේය.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ සංචාරක කේෂ්ත්‍රයේ උන්නතිය සඳහා දක්වන නිරන්තර දායකත්වයට සිය ස්තූතිය පුද කල ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් වසංගතයෙන් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීම රජයේ ප්‍රමුඛ කාර්යය ලෙස සලකා ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරන බව කීවේය.

මෙම සාකච්ඡා සඳහා ග්‍රවන්සේවා හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය ඇමති ඩී.වී.චානක , යුරෝපා සංගමයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙළඳ හා සන්නිවේදන ප්‍රධානි තර්ස්ටන් බාග්ෆ්‍රෙඩ් ,සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි,රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර යන මහත්වරුද සහභාගී වූහ.