ආසිරි සෙන්ට්‍රල් රෝහල නැවත වරක් JCI ප්‍රතීතන සහතිකය හිමිකරගනී

ජාත්‍යන්තර මට්ටමේ රෝගී ප්‍රතිකාර සේවාවක් හා ආරක්ෂාවක් සලසන ආසිරි රෝහල් ජාලයේ ප්‍රමුඛතම රෝහල වන ආසිරි සෙන්ට්‍රල් රෝහල දෙවැනි වරටත් Joint Commission International (JCI) ප්‍රතීතන සහතිකය දිනාගැනීමට පසුගියදා සමත්විය.

ගෝලීය වශයෙන් රෝහල් වෙත පිරිනැමෙන ගුණාත්මක ප්‍රමිති සහතිකයක් වන එමඟින් රෝහල්වල සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවයේ හා ආරක්ෂාවේ විශිෂ්ටත්වය සහතික කරයි. මෙම JCI ප්‍රමිතීන් හරහා රෝගීන් කේන්ද්‍ර කරගත්, විශේෂයෙන් ම රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකෙරෙන සෞඛ්‍ය සේවා ප්‍රමිතීන් හා ගුණාත්මකභාවය කළමනාකරණය කිරීමේ පද්ධති පිළිබඳ (Gold Seal of Approval® ද සමඟින්) දැඩි ලෙස සලකා බැලේ. මෙම ප්‍රතීතන සහතිකය සෑම වසර තුනකටම වරක් අලුත් කිරීමේ පටිපාටියක් ක්‍රියාවට නැංවීම ද විශේෂත්වයකි.

ආසිරි සෙන්ට්‍රල් රෝහල නැවතත් JCI ප්‍රතීතන සහතිකය දිනාගත්තේ 90%කට වැඩි ප්‍රමිති අනුකූලතා මට්ටමක් පෙන්නුම් කරමින් වීම ද කැපීපෙනේ. ඊට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂාවන් සඳහා මේ වසර මුලදී JCI කණ්ඩායමක් මෙරටට පැමිණ තිබුණි.

හෙද වෘත්තිකයෙක්, කායික රෝග වෛද්‍යවරයෙක් සහ පහසුකම් පිළිබඳ විශේෂඥයෙක් ඇතුළු පිරිසක් එම කණ්ඩායමට අයත් විය. ඔවුහු සියලු දෙනාම ලොව පුරා සෞඛ්‍ය සේවා පද්ධති පිළිබඳ දශක ගණනාවක අත්දැකීම්වලින් හෙබි පුද්ගලයෝ වූහ. එම කණ්ඩායම සියලු සායනික හා මෙහෙයුම් ක්‍රියාවලි සමාලෝචනය කරමින් පුළුල් පරීක්ෂාවක් සිදු කර තිබුණි. එහි ප්‍රතිඵලවලට අනුව ආසිරි සෙන්ට්‍රල් රෝහල ඉහළම සාර්ථකත්වයක් ළඟා කරගෙන තිබූ අතර රෝගී ආරක්ෂාව පිළිබඳ ප්‍රමිතීන් සහ සේවාව සඳහා වූ කැපවීම නිසා එම සාර්ථකත්වය හිමි වූ බව ආසිරි කළමනාකාරීත්වයේ විශ්වාසය යි.

“මෙය ආසිරි සෙන්ට්‍රල් රෝහල ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. අපගේ කැපවීම් වෙනුවෙන් මෙවැනි ඉහළ මට්ටමේ ඇගයීමක් ලැබීම ගැන අපි ඉතාමත් සතුටට පත්වෙනවා. විශේෂයෙන්ම ගුණාත්මක බවේ හා රෝගී ආරක්ෂාවේ මූලිකාංග අනුගමනය කිරීම මත පදනම්ව මෙවැනි ඇගැයීමක් ලැබීම අපට මහත් ආඩම්බරයක්. එදිනෙදා කටයුතු වලදී අඛණ්ඩව වර්ධනයක් පෙන්නුම් වන ලෙස විශිෂ්ට ප්‍රමිතීන් ක්‍රියාත්මක කරවීමට අප සතු කැපවීම ඉන් මනාව පිළිබිඹු වෙනවා. මේ හරහා ආසිරි සෙන්ට්‍රල් රෝහලට වඩාත් තදබල, ඉලක්කගත හා මැනිය හැකි අවශ්‍යතා සමඟින් තම ගුණාත්මක භාවය වඩාත් ඉහළ නැංවීමට හැකිවී තිබෙනවා” යැයි ආසිරි රෝහල් ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසීය.