දඹදිව සාංචි – මහබෝධි අග්‍රශ්‍රාවක ධාතු වන්දනා මහෝත්සවය 68 වන වරටත් මෙවර පැවැත්වෙයි

දඹදිව මධ්‍ය ප්‍රදේශ් හි පිහිටි ක්‍රි.පූ තුන්වන සියවසේ ඉදි  කළ සාංචි මහා චෛත්‍ය පුදබිමේ නටබුන් කැනීම්වලින් 1851 ශ්‍රීමත් කනිංහැම් මහතා සොයා ගත් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා තැන්පත් කර , 1947 සාංචි චේතියගිරි විහාරය අභිනවයෙන් ස්ථාපනය කර මේ වසරේ  නොවැම්බර් 30දා ට වසර 73ක් සපිරේ.

අධිරජ ධර්මාශෝක රජුගේ අගබිසව වු විදිසාදේවි  සාංචි  කඳු මුදුනේ ඉදි  කළ මෙම චෛත්‍ය සංකීර්ණයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා වැඩවසති. 1952 දි ඒවකට ඉංදීය අගමැති ජවහල්ලාල් නේරුතුමන්ගේ සහ ඉංදීය ජනාධිපති සර්වපල්ලි රාධක්‍රිෂ්ණන්ගේ ද අතිපූජ්‍ය පරවාහැර වජිරඥාන නා හිමි , අමාත්‍ය ඒ.රත්නායක මහතා ද රාජා හේවාවිතාරණ ඇතුළු ලංකාවේ බෞද්ධ නායකයන් රැසකගේ ද සහභාගිත්වයෙන් විවෘත කළ  මෙම චේතියගිරි විහාරයේ,  අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා වාර්ෂික වන්දනාව සෑම වසරකම නොවැම්බර් මස අවසාන ඉරිදා සිදු කරන්නේ ඉංදීය අගමැති ජවහල්ලාල් නේරුතුමන් කළ විශේෂ ඉල්ලීමකට අනුව බව වත්මන් සාංචි චේතියගිරි හා කොළඹ අග්‍රශාවක මහා විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පැවසූහ. ඒ අනුව සෑම වසරකම නොවැම්බර් මස අවසාන ඉරිදා මෙම සාංචි – මහාබෝධි මහෝත්සව පවත්වනු ලැබේ.

අඛණ්ඩව වසර 67 පැවැත් වූ මෙම සාංචි – මහාබෝධි මහෝත්සවය සහ ඒම සම්ප්‍රදායන් කඩ කිරීම කිසිසේත්ම කළ නොහැකි නිසා   ඒය  මෙවරත් මධ්‍ය ප්‍රදේශ් රජය සමග එක්ව ඉතාමත් චාම්  ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා මහබෝධි සංගමය කටයුතු යොදා ඇතැයි උන් වහන්සේ පැවසූහ. පවත්නා කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඉංදියාවේ සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුගතවෙමින් සීමිත සහභාගිත්වයක් ඇතිව,ඒහෙත් සම්ප්‍රදායික චිරාගත වත්පිළිවෙත් පෙරදැරිව අගසව් ධාතුන් වහන්සේලා භූගත ධාතු ගර්භයෙන් පිටතට වැඩමවා, පසුගිය වසරේ වියට්නාමයේ බෝධිචිත්තා භික්ඛුණි ප්‍රමුඛ වියට්නාම් බෞද්ධ සැදැහැවතුන් පූර්ණ  රන් ආලේප කළ සාරනාත් බුද්ධ  ප්‍රතිමා වහන්සේ පාමුල පූජාසනයේ තැන්පත් කර,  අගසව් ධාතු වන්දනාව පැවැත්වීමට මෙවර කටයුතු යොදා ඇතැයි ද  උපතිස්ස  නා හිමියෝ පෙන්වා දුන්හ.

ඒ අනුව නොවැම්බර් 29 දින පෙරවරු අටට මෙම ධාතු පූජා  මහෝත්සවය ඇරඹෙන්නේ, මධ්‍ය ප්‍රදේශ් අතිරේක පොලිස් ජෙනරාල් අනුරාධා ශංකර් (Anuradha Shanker Sing)  මහත්මියගේ ප්‍රධානත්වයෙන්, රයිසන් දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලක උමා ශංකර් බහාර්ගව් (Uma Shanker Bhargav) මහතාගේ  සහ රයිසන් පොලිස් අධිකාරි මොනිකා ශුක්ලා (Monika Shukla) මහත්මියගේ සහභාගිත්වයෙනි. මෙදින මෙම සියළු ආගමික වතාවත් හා චාරිත්‍රයන් ඉටු කරන්නේ මේ වනවිටත් සාංචි පුදබිමේ වැඩ වාසය කරමින් විහාරයේ දෛනික ආගමික වතාවත් නොපිරි‌හෙලා  ඉටු කරන  උඩුගම තපස්සි හිමි බව බානගල  නා හිමියෝ පැවසූහ.

ඒ අනුව නොවැම්බර් 29 දින පෙරවරු හතට  ඇරඹෙන මෙම ධාතු පූජා  මහෝත්සවය MpNewsUpdate  මධ්‍ය ප්‍රදේශ්  රූපවාහිනි සේවය ඔස්සේ කෙරෙන සජීව විකාශය ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ  AMCA (face book ) මුහුණු පොත ඔස්සේ ලංකාවේ ප්‍රතිවිකාශය කෙරෙන බව එම සංගමය පවසයි.