සිංගර් ශ්‍රී ලංකා, DELL ලැප්ටොප් අලෙවියේ පෙරමුණ හිමිකරගනියි

ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් (IDC) නවතම වාර්තාවට අනුව මෙරට Dell ලැප්ටොප් පරිගණක අලෙවියේ සියයට 35.6%ක දැවැන්ත වෙළෙඳපොළ ප්‍රතිශතය අත්පත් කරගැනීමට, ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගමට සමත් වී තිබේ.

සිංගර් ශ්‍රී ලංකා සහ DELL Technologies ආයතන අතර පවතින ව්‍යාපාර සහයෝගීතාව මෙවන් විශාල ප්‍රගතියක් ළඟාකරගැනීමට හේතු වී ඇති අතර, මීට ඉහතදී එළිදැක්වුණු IDC වාර්තාවකට අනුව සිංගර්, මෙරට අංක එකේ පරිගණක අලෙවිකරු ලෙස නම් කර තිබීම ද කැපීපෙනේ.

ශ්‍රී ලංකාව තුළ Dell ලැප්ටොප් පරිගණක බෙදාහැරීමේ ප්‍රමුඛයෙකු වන සිංගර්, මෙරට Dell නිෂ්පාදන අලෙවි ආදායමේ සියයට 70ක දායකත්වයක් උසුළයි. සෙසු සියලු අලෙවි මාර්ග හරහා Dell නිෂ්පාදන සඳහා හිමිව ඇත්තේ 30%ක ප්‍රතිශතයකි.

“Dell යනු සෑම විටම නවෝත්පාදනයෙන් බලගැන්වෙන, විවිධත්වයෙන් යුතු නිෂ්පාදන පෙළක්. ඒ නිසා ම එය ලෝකයේ ප්‍රමුඛතම සන්නාමයක් බවට පත්ව තිබෙනවා. අනෙක් අතට අපේ රටේ අංක එකේ පරිගණක අලෙවි සමාගම, සිංගර් ශ්‍රී ලංකා ආයතනයයි.

මේ ව්‍යාපාර සහයෝගීතාව හරහා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන උසස් තාක්ෂණයෙන් යුතු ලැප්ටොප් පරිගණක ලබාදීමට අපට හැකි වී තිබෙනවා. සාමාන්‍ය පාරිභෝගික ලැප්ටොප් වෙළෙඳපොළ තුළ අපගේ වර්ධනය හරහාත්, පාරිභෝගිකයින්ට උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් ලබාදීමට අප සතු අඛණ්ඩ කැපවීම හොඳින් පිළිබිඹු වෙනවා”, යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්වයක් පැවතුණ ද නිවසේ සිට රාජකාරි කිරීම හා දුරස්ථ (මාර්ගගත) අධ්‍යාපනය හේතුවෙන් ද සිංගර් සමාගම ලැප්ටොප් පරිගණක අලෙවිය අතින් විශාල වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. විශේෂයෙන් ම වර්තමාන වසංගත තත්ත්වය හේතුවෙන් මතුව තිබෙන ‘නව සාමාන්‍යය’ වටපිටාව හමුවේ ලැප්ටොප් පරිගණක භාවිතය වේගයෙන් ඉහළ ගොස් ඇත.

මෙරට පාරිභෝගිකයින් අතර Dell ලැප්ටොප් පරිගණක සඳහා පවතින්නේ දැඩි ඉල්ලුමකි. එමගින් නවීන තාක්ෂණය රැගත් නිෂ්පාදන කෙරෙහි ඔවුන් තුළ ඇති ආකර්ෂණය මෙන්ම Dell සන්නාමය පිළිබඳව ඇති විශ්වාසය ද ඉන් මනාව පැහැදිලි වේ. සෙසු තරගකාරී නිෂ්පාදන හා සැසඳීමේදී මිල ගණන් තරමක් ඉහළ වුවද Dell නිෂ්පාදන ම මිලදීගැනීමට පාරිභෝගිකයින් යුහුසුළු වීමෙන් ඒ බව තවදුරටත් සනාථ වේ.

“සිංගර් ශ්‍රී ලංකා සමාගම වැනි අපගේ හවුල්කරුවන්ගේ සහයෝගය හේතුවෙන්, පාරිභෝගික ලැප්ටොප් පරිගණක අලෙවියේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රතිශතයක් අත්කරගනිමින් පෙරමුණට පැමිණීම අපට මහත් සතුටක්. ගෙවුණු වසර කිහිපය පුරාවට අප ආයතන දෙක අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟුණා. ඒ මත විශිෂ්ට ප්‍රතිඵල ළඟාකරගැනීමට අපට දැන් හැකිවෙලා තිබෙනවා. එම සාර්ථකත්වයේ රහස,පාරිභෝගිකයින්ට විශ්වාසය තැබිය හැකි විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් සහ වටිනාකමක් සහිත නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමයි”, යනුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ DELL Technologies බෙදාහැරීම් අංශ ප්‍රධානී (පාරිභෝගික සහ ව්‍යාපාර), ආබිඩ් අස්ලම් මහතා පැවසීය.

විවිධ පාරිභෝගික අවශ්‍යතාවන්ට සරිලන නිෂ්පාදන රැසක් Dell සතු ය. ඒ අනුව රු. 64,799 සිට ඉහළට විවිධ මිල ගණන් යටතේ Dell ලැප්ටොප් මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයින්ට උදා වී තිබේ. එහිදී 2020 වසරේ ලොව හොඳම ලැප්ටොප් පරිගණකය ලෙස සම්මානයට පාත්‍ර වූ XPS13 ලැප්ටොප් පෙළ සහ ගේමින් ලැප්ටොප් ඇතුළු විශිෂ්ට නිෂ්පාදන පෙළක් දක්නට ලැබේ. මේ අතර පරිගණකයත්, ජංගම දුරකථනයත් අතර අඛණ්ඩ සබඳතාවක් නිර්මාණය කරන, Dell පරිගණකවලට ම ආවේණික ‘Dell Mobile Connect’ මෘදුකාංගය ද පාරිභෝගිකයින් Dell ලැප්ටොප් වෙත ආකර්ෂණය වීමට ප්‍රබල හේතුවක් වී තිබේ.

මෙරට Dell පරිගණක අලෙවියේ වර්ධනයට සිංගර් සමාගම ලබාදෙන ආකර්ෂණීය ගෙවීම් ක්‍රම ද හේතු වී ඇති බව නොරහසකි. ක්‍රෙඩිට් කාඩ්පත් දීමනා, මුදල් වට්ටම් සහ සිසුන්ට ලබාදෙන විවිධ දීමනා ආදිය ඊට අයත් ය. එමෙන්ම සිංගර් හරහා පහසු ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමේ අවස්ථාව හිමිවීම නිසා ද, Dell පරිගණක අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

සිංගර් හරහා Dell ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේදී ලැබෙන තවත් වාසි ගණනාවකි. Dell ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේදී සාමාන්‍යයෙන් හිමිවන වගකීම් කාලසීමාව අවුරුදු දෙකක් වුව ද, සිංගර් හරහා කරන මිලදී ගැනීමකදී එම කාලසීමාව අවුරුදු හතරකි. ඊට අමතරව විශිෂ්ට සේවා ප්‍රමිතීන්, www.singer.lk වෙබ් අඩවිය හරහා සේවා ලබාගැනීමේ පහසුව මෙන්ම දිවයින පුරා පිහිටි ප්‍රදර්ශනාගාර 400කට වැඩි අලෙවි ජාලය නිසා ද Dell විශිෂ්ටත්වය සොයන පාරිභෝගිකයින්ට වැඩි සේවාවක් සැලසීමට සිංගර් ශ්‍රී ලංකා සමාගමට හැකිව තිබේ.

සාර්ථකත්වය උදෙසා එක්ව යන ගමනක් තුළ අඛණ්ඩව තම වෙළෙඳපොළ ප්‍රතිශතය වැඩි කරගැනීමටත්, ඉහළ ආදායම් ඉපැයීමටත් අවධානය යොමු කරමින්, තම පාරිභෝගිකයින්ට උසස් තාක්ෂණික විසඳුම් හා සේවා සැපයීමට සමාගම් ආයතන දෙක ම අඛණ්ඩව කැපවී සිටියි.