ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙකු පත්කරයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසින් කටයුතු කළ සංජය මොහොට්ටාල මහතා පත්කර තිබේ.

ඒ මහතා අද (09) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආයෝජන මණ්ඩල කාර්යාලයේ දී වැඩභාර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරට ආර්ථිකය හැසිරවීමේ සුවිශේෂී ආයතනය බවත්, විධායක ජනාධිපතිවරයා යටතේ පවතින ආර්ථිකයේ දිශානතිය මෙහෙයවන රජයේ ප්‍රබලතම රාජ්‍ය ආයතනය බවට එය පත්කිරීම තම අරමුණ බවත් මොහොට්ටාල මහතා රාජකාරි ආරම්භ කරමින් මෙහිදී පැවැසීය. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු වරයෙකු වන ඔහු බොස්ටන් උපදේශක සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මෙන්ම හිමිකාරිත්ව සහකරු ලෙස ද කටයුතු කරයි.

සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙළ අනුව යමින් මෙරට ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් කැපවෙන බවත් නව ක්ෂේත්‍ර කිහිපයක් නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීමට කටයුතු යොදන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ් 19 අවදානම් කාලය තුළ දී ආයෝජන කලාප වසා නොදමා නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට හිටපු සභාපති සුසන්ත රත්නායක මහතා ඇතුළු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ලබා දුන් සහයෝගය නව සභාපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.