DHL Express ශ්‍රී ලංකා සමාගම, 40 වසරක සේවා විශිෂ්ටත්වය හා වෙළෙඳපොළ ප්‍රමුඛත්වය සමරයි

ලොව ප්‍රමුඛතම එක්ස්ප්‍රස් සේවා සැපයුම්කරු වන DHL Express සමාගම, ශ්‍රී ලංකාවේ ලොජිස්ටික් සේවා අංශය තුළ දශක හතරක් පුරා විහිදුණු තම සේවා විශිෂ්ටත්වය හා ප්‍රමුඛත්වය මේ වසරේදී සමරයි. 

DHL Express සමාගම, 1980 වසරේදී ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කළ අතර ගෙවුණු කාලය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ අනාගතය හා මෙරට ලොජිස්ටික් සේවා අංශයේ සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමට ක්‍රියා කර ඇත. දශක හතරක කාලය තුළ තම ජාත්‍යන්තර මෙහෙයුම් වලදී යහපත් භාවිතාවන් පෙන්නුම් කරමින්, ක්ෂේත්‍රය තුළ ඉදිරිගාමී සේවා විසඳුම් ලබාදෙමින්, තම සේවා ප්‍රතිරූපය ශක්තිමත් කරගනිමින් හා දේශීය අත්දැකීම් මුසු කරගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනය සඳහා ද සමාගම උර දී තිබේ.

“DHL Express ශ්‍රී ලංකා සමාගම තම 40 වැනි සංවත්සරය සමරන මේ මොහොතේදී, ලොජිස්ටික් සේවා අංශයේ දියුණුව වෙනුවෙන් සමාගම දැක්වූ පුරෝගාමී කාර්යභාරයත්, පාරිභෝගිකයින් සහ කර්මාන්ත ක්ෂේත්‍රය තුළින් ලද ජයග්‍රහණ සහ ගරු බුහුමන් පිරුණු අතීතයත් අපි විශාල අභිමානයකින් සිහිපත් කරනවා. දේශීය කළමනාකාරීත්වය හා සියලු සේවකයින් ශ්‍රී ලංකාව තුළ අපගේ සාර්ථකත්වයේ හා වර්ධනයේ රහස ලෙස හැඳින්විය හැකියි. වර්තමානයේදී අපි ඉතාම අභියෝගකාරී පරිසරයකට මුහුණ දුන්නත්, තවත් දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව තුළ අපගේ සාර්ථකත්වය හා වර්ධනය පවතිනු ඇති බව අපගේ විශ්වාසයයි”, යනුවෙන් DHL Express ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී කෙන් ලී මහතා පැවසීය.

“අප නියෝජනය කරන සේවා අංශ තුළ නවෝත්පාදකයෙකු සහ ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව තුළ 40 වසරක් සම්පූර්ණ කිරීම, අපට විශාල අභිමානයක් දනවන මොහොතක්. අපි වර්ධනය සඳහා දැවැන්ත පියවරක් තැබීමේ අභිමුව සිටින මේ මොහොතේ, පුරෝගාමී ජීවගුණයකින් යුතුව අපේ රටට සේවය කිරීමට අපි කැප වී සිටින බවත් සිහිපත් කළ යුතුයි. මෙසේ දශක හතරක් පුරා සාර්ථකව ඉදිරියට පැමිණීම නිසා ම, විශිෂ්ට කණ්ඩායම් හැඟීමෙන් යුතු සේවා පරිසරයක් අප සතුයි. ඒ අතරම අපගේ සේවකයින්ගේ, පාරිභෝගිකයින්ගේ සහ හවුල්කරුවන්ගේ අඛණ්ඩ කැපවීම සහ සහාය වෙනුවෙන් කෘතඥ පූර්වක වීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා. අනාගතයේදී අද්විතීය කාර්යක්ෂමතාවක්, අසමසම ලොජිස්ටික් හැකියාවන් හා පාරිභෝගික සේවාවේ අඛණ්ඩ උරුමය ද කැටි කරගනිමින් නව ආරක විශිෂ්ට සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබාදීමට අපි පියවර ගන්නවා”, යනුවෙන් DHL Express ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධානී දිමිත්‍රි පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

DHL Express ශ්‍රී ලංකා සමාගම තම මෙහෙයුම් අතරතුර පසු කළ විවිධ සන්ධිස්ථාන අතර සුවිශේෂී අවස්ථාවක් ලෙස 1992 වසරේදී මෙරට විශාලතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හා එක්ව ආරම්භ කළ ඒකාබද්ධ ව්‍යාපාර මෙහෙයුම් හැඳින්විය හැක. එමෙන්ම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ඉදිකළ නවීන කාර්යාල සංකීර්ණය ද එවන් සුවිශේෂීත්වයකි. එහි පැය 24 පුරා ක්‍රියාත්මක රේගු නිශ්කාෂණ සහ පාරිභෝගික සහායක සේවාව නිසා මෙරට ව්‍යාපාර ප්‍රජාවට ද දැවැන්ත සහායක් හිමිව තිබේ. තම සේවා කටයුතු නව මානයකට ඔසවා තබමින් 2016 වසරේදී දේශීය වාහන ඇණියට නවතම මර්සිඩීස් බෙන්ස් Vito රථ 45ක් එක්කිරීමට ද සමාගම පියවර ගෙන තිබුණි. ඊට අමතරව 2018 වසරේදී හඳුන්වාදුන් ‘DHL Parcel Locker’ පහසුකම සහ 2019 වසරේදී කොළඹ යූනියන් පෙදෙසෙහි ආරම්භ වූ 19 වැනි DHL සේවා මධ්‍යස්ථානය ද සමාගම පිරිනමන ගෝලීය මට්ටමේ විශිෂ්ට සේවාව මෙරට ජනතාවට තවදුරටත් ළඟාකිරීමට සමත් විය.

ඉ-වාණිජ සේවාවන්හි වර්ධනයත් සමඟ පාරිභෝගික අවශ්‍යතාවන්ට සරිලන උසස් මට්ටමේ ඉ-වාණිජ සේවාවන් පිරිනැමීමට සමාගම ඩිජිටල්කරණයටත් පා තැබීය. එහිලා මෑතකදී එළිදැක්වුණු DHL Express ජංගම දුරකථන යෙදවුම කැපී පෙනේ. තම භාණ්ඩ හා පාර්සල්වල තත්කාලීන පිහිටීම දැනගැනීම ඇතුළු සේවා රැසක් ස්මාර්ට් ජංගම දුරකථනය හරහා සමීප කිරීමට එම ජංගම දුරකථන යෙදවුම සමත් ය.  පාරිභෝගිකයින්ගේ ව්‍යාපාර අවස්ථා වර්ධනය හා ආයත නිර්යාත වෙළෙඳාමට ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් MyDHL+ නවතම වෙබ් උපාංගයක් හඳුන්වා දීමට ද සමාගම සැලසුම් කර තිබේ.

මේ අතර සහයෝගීතා වටපිටාවක් අවැසි මෙරට තරුණ පරපුර සවිබල ගැන්වීමේ අරමුණින්, 2018 වසරේදී ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගැනීමට ද DHL Express ශ්‍රී ලංකා සමාගම පියවර ගත්තේය. එමගින් දුෂ්කර පසුබිමක් සහිත තරුණ තරුණියන්ට රැකියා ලබාගැනීමටත්, ශක්තිමත්ව අනාගතයට මුහුණ දීමටත්, සවිමත් අඩිතාලමක් හිමිවෙයි. ඊට අමතරව ‘මදර් ලංකා පදනම’ (2017), ‘Trail Sri Lanka’ පිළිකා මර්දන පා ගමන (2016), ලේ දන්දීමේ වැඩසටහන්, ගංගොඩවිල ළමා නිවාසයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය පිළිසකර කිරීම, කොළඹ මානසික රෝහල ආශ්‍රිත ව්‍යාපෘති ආදී බොහෝ සමාජ සත්කාර සිදුකිරීමට ද සමාගම පියවර ගෙන තිබේ. 2015 වසරේ පැවැති රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරගයකදී පන්දුව පිරිනැමීමේ අවස්ථාව ශ්‍රී ලාංකික දරුවෙකුට හිමිකරදීමට ද සමාගම සමත්වූයේ එවැන්නක් කළ මෙරට ප්‍රථම සමාගම බවට පත්වෙමිනි.

සේවායෝජකයෙකු ලෙස ඉහළ මනාපයක් පවත්වාගැනීම DHL සමූහය සතු ප්‍රමුඛ ගෝලීය ඉලක්කයකි. ඒ අනුව යමින් DHL ශ්‍රී ලංකා සමාගම ද තම සුදක්ෂ කාර්ය මණ්ඩලය අඛණ්ඩව රඳවාගැනීමටත්, ප්‍රගතිශීලී සහ අන්තර් සම්බන්ධතාවයන්ගෙන් යුතු රැකියා පරිසරයක් හා සංස්කෘතියක් ගොඩනැඟීමටත් සමත්ව සිටී.  පළමුවරට එළිදැක්වුණු, ‘10 Best Workplaces for Millennials in Sri Lanka 2020’  (2020 වසරේ නව සහස්‍රක පරපුරේ සේවකයින් සඳහා හොඳම රැකියා ස්ථාන 10) අතරට එක්වීමට මෙන්ම ‘No. 1 in the Most Respected Entities list for Logistics companies in 2020’ (2020 වසරේ ලොජිස්ටික් සමාගම් අතර වඩාත් ගෞරවයට පාත්‍ර වූ ආයතන ලැයිස්තුවේ මුල් තැන)  ජයග්‍රහණය ද අත් කරගැනීමට සමාගම සමත්විය. ඒ සියල්ල අතරේ අඛණ්ඩව වසර 6ක් පුරා  Great Place to Work® සම්මානය දිනාගැනීමට ද  DHL ශ්‍රී ලංකා සමාගමට හැකිවී තිබේ.