ලංවා සංස්ථා සිමෙන්ති නිෂ්පාදනය ජූනි මාසයේදී ඇරඹේ

ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගමේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු 2021 ජූනි මාසයේදී ආරම්භ වීමට නියමිතව පවතී.

අතිනවීන තාක්ෂණයෙන් යුත් මෙම කර්මාන්තශාලාව කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා අතරින් එකක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක ප්‍රදේශයක මෙම කර්මාන්තශාලාව පිහිටා ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපෘතියක් වන මෙහි මුල් අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 70 ක් වන අතර එහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තුගත කර තිබේ.

දෙවෙනි අදියරේදී තවත් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජනයක් සමගින් නිෂ්පාදන ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.2 කින් ඉහළ නැංවෙනු ඇත. මෙම කර්මාන්තශාලාවේ එක් විශේෂතම ලක්ෂණයක් වන්නේ අතිනවීන තාක්ෂණය භාවිතා කිරීමයි.

මෙහි සියලුම මිශ්‍ර කිරීමේ කටයුතු Gebr Pfeiffer යන්ත්‍ර භාවිතයෙන් සිදුකරනු ලබන අතර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ භාවිතා කෙරෙන අනෙකුත් යන්ත්‍රෝපකරණ බොහොමයක්, නවෝත්පාදන සම්බන්ධයෙන් ලෝ ප්‍රකට Siemens සමාගම මගින් විශේෂයෙන් සැලසුම් කර ඇත. ඇසුරුම්කරණ කටයුතු වලදී කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ අපතේ යාම් අවම කිරීම සඳහා අතිනවීන FLSmidth තාක්ෂණය භාවිතා වේ.

“මෙම කර්මාන්තශාලාව මගින් උසස්ම තත්වයේ නිෂ්පාදන ලබාගත හැකිවීම ඉදිකිරීම් කර්මාන්තයට බෙහෙවින් වාසිදායක වේවි. මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ උපරිම නිෂ්පාදන හැකියාවක් සඳහා නවීනතම යුරෝපීය තාක්ෂණය භාවිතා කරන අතරම පරිසර හිතකාමීත්වය වෙනුවෙන් අඛණ්ඩ නිරීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කෙරෙන එකම කර්මාන්තශාලාව බවට මෙය පත්වේවි.” ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා පැවසී ය.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මැතිතුමා පසුගිය සතියේ එම කර්මාන්තශාලාවේ සංචාරයක නිරත වූ අයුරු

මෙම කර්මාන්තශාලාවේ පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය ‘ස්ටැකර් රික්ලේමර් යාර්ඩ්’ එකක් සහ ‘බ්‍රිජ්-ටයිප් ෂිප් අන්ලෝඩර්’ දෙකක් ඇතුළත් වේ. මෙය ජාත්‍යන්තර ප්‍රවණතා වලට සමගාමී වන, ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිතයෙන් භාණ්ඩ හැසිරවීම සම්බන්ධ පුරෝගාමී පියවරකි.

භාණ්ඩ ප්‍රවාහන නෞකා 3 කට සමාන ගබඩා පහසුකම් ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සතු වන අතර, වරායේ සිට කර්මාන්තශාලාව දක්වා අමුද්‍රව්‍ය ප්‍රවාහනයට කිලෝමීටර් 2.4 ක දිගින් යුත් ‘කන්වේයර් බෙල්ට්’ එකක්ද යොදා ඇත. කාර්යක්ෂමතාව වැඩි කරන, අපතේ යාම් අවම කරන සහ පරිසර දූෂණය වළක්වන පියවරක් වන මෙය අනෙකුත් කර්මාන්තශාලා වලටද ආදර්ශයක් වනු නිසැක ය.

මෙම සියලුම තාක්ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ ප්‍රථම වරට වන අතර, සමස්ත කලාපය තුළද මෙම පහසුකම් ඇත්තේ සීමිත කර්මාන්තශාලා ගණනක පමණි.

නිෂ්පාදන කටයුතු ආරම්භ වූ පසු, කොළඹ වරාය නගරය සහ අධිවේගී මාර්ග ඇතුළුව සියලුම ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය සිමෙන්ති සැපයීමට ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සාමාන්‍ය පෝර්ට්ලන්ඩ් සිමෙන්ති,පෝර්ට්ලන්ඩ් ස්ලැග් සිමෙන්ති සහ පෝර්ට්ලන්ඩ් හුණුගල් සිමෙන්ති ඇතුළුව ‘බ්ලෙන්ඩඞ් සිමෙන්ති’ නිෂ්පාදන සියල්ලම පාහේ මෙම කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය වනු ඇත.

ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදන සමාගම වන සිලෝන් ස්ටීල් කෝපරේෂන් සමාගමේ සහෝදර සමාගමයි.

සිලෝන් ස්ටීල් කෝපරේෂන් සමාගම නිෂ්පාදනය කරන QT බාර්, හොට්-ඩිප්ඩ් ගැල්වනයිස් පයිප්ප, බොක්ස් බාර්, රවුන්ඩ් ටියුබ්, කම්බි ඇන,MS රොඩ්, පර්ලින් සහ දැල් වැනි නිෂ්පාදන ‘ලංවා’වෙළඳ නාමය යටතේ වෙළඳපොළට පැමිණේ.

ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වන, ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Onyx Group, ඩුබායි හි Marriot Al Jadaf හෝටලය, Marangoni Industrial Tyres Lanka (පුද්.) සමාගම යන සමාගම් වල මෙන්ම, 2021 ජනවාරි මාසයේදී ඉදිකිරීම් අවසන් වීමට නියමිත හොරණ Rigid Tyre Corporation (පුද්.) සමාගමේ ප්‍රධානියාද වේ.