JAT Holdings සමාගම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබා දෙයි

JAT Holdings සමාගම 2020/2021 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ තරගාවලි වලදී නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීම සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කළේ ය.

මුළුමනින්ම දේශීය සන්නාමයක් මෙන්ම දැව ආලේපන වෙළඳපොළේ අවිවාදිත ප්‍රමුඛයා වන එම සමාගම විසින්, ටෙන්ඩර් ක්‍රියාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය හිමි ITW Consulting සමාගම සමග එම ගිවිසුමට අත්සන් තබන ලදි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවිධ අනුග්‍රාහකත්ව, දැන්වීම්කරණ හා සන්නාම ප්‍රවර්ධන කටයුතු සඳහා මෙම නියෝජිත ආයතනයට බලය පවරා තිබේ.

මෙම ගිවිසුම යටතේ JAT Holdings සමාගම 2020/2021 කාලපරිච්ඡේදය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන දේශීය හා විදේශීය තරගාවලි සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙනු ඇත.

දකුණු අප්‍රිකානු පිල සමග පැවැත්වීමට නියමිත තරගාවලිය ටෙස්ට් තරග දෙකකින් සමන්විත වන අතර එම තරග 2020 දෙසැම්බර් 26 සහ 2021 ජනවාරි 07 යන දිනවල ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මෙරටදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ 2021 ජනවාරි 14 සහ 2021 ජනවාරි 26 යන දිනවල ය. මීට අමතරව 2021 මාර්තු මාසයේදී ඇරඹෙන, බටහිර ඉන්දීය කොදෙව් පිළ සමග පැවැත්වෙන තරගාවලිය තුළ එක්දින තරග 3 ක්, විස්සයි විස්ස තරග 3 ක් සහ ටෙස්ට් තරග 2 ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. JAT සමාගම මෙම තරගාවලි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනු ඇත.

දැනට පවතින දුෂ්කර තත්ත්වයන් හමුවේ බොහෝ සමාගම් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික තීරණ ගැනීමෙන් වැළකී සිටින පසුබිමක පවා JAT Holdings සමාගම නොසැලී පෙරට යමින් සිටී. එම සමාගම මෑතකදී “WHITE by JAT” නමින් ගොඩනැගිලි අභ්‍යන්තරයේ හා බාහිර ආලේප කළ හැකි බ්‍රිලියන්ට් වයිට් ඉමල්ෂන් තීන්ත පෙළක්ද වෙළඳපොළට හඳුන්වා දුන් අතර, මෙම නව අනුග්‍රාහකත්ව ගිවිසුම, ලොව පුරා වෙළඳපොළවල් මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වය හමුවේ පවා JAT Holdings සමාගමේ ස්ථාවරත්වය පිළිබඳ මනා සාක්ෂියකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙසේ පැවසී ය. “ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් පිල ඇතුළු කණ්ඩායම් සමග තරග වදින තරගාවලි සඳහා නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට, දේශීය හා පෞද්ගලික අංශයේ සමාගමක් වන JAT Holdings ඉදිරිපත් වීම අපට මහත් සතුටක්. ක්‍රිකට් වලදී කවදත් මූලිකත්වය ලැබෙන්න හවුල්කාරීත්වයන්ටයි. මේ හවුල්කාරීත්වය තවතවත් වර්ධනය වෙමින්, JAT සමාගමට තම සන්නාමය ජාත්‍යන්තර තලයේ ඉහළටම රැගෙන යාමට මෙමගින් අවස්ථාව ලැබෙනු ඇතැයි කියා මා සිතනවා.”

මෙම අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් JAT Holdings සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා මෙසේ පැවසී ය. “දේශීය සමාගමක් මෙන්ම පෞද්ගලික අංශයේ සමාගමක් ලෙස, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීමට හැකිවීම ගැන අප සැබැවින්ම ආඩම්බර වන අතර ඉදිරි තරගවි වල ජයග්‍රහණය සඳහා අප හදවතින්ම සුබපතනවා. JAT Holdings යනු නිරතුරුවම සමාජයට යහපතක් සිදුකළ හැකි ක්‍රම සොයාබලන සමාගමක්. එහිදී ක්‍රීඩා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අප කවදත් උනන්දුවක් දැක්වූවා. පසුගිය කාලයේ පැවති LPL 2020 තරගාවලියේදී ‘Kandy Tuskers’ පිලට අනුග්‍රහය දැක්වූ එකම ශ්‍රී ලාංකික සමාගම වූයේත් JAT Holdings සමාගමයි.”

“ක්‍රීඩාව යනු සාමූහිකත්වයේ සංකේතයක්. කෙනෙකු පරිපූර්ණ පුද්ගලයෙකු බවට පත්කිරීමට මෙන්ම, ජාති ආගම් භේද වලින් තොරව සෑම දෙනාම එකමුතු කිරීම ක්‍රීඩාවට හැකියාව තිබෙනවා.”  ඊලියන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.

ITW Consulting (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ භෛරව් ශාන්ත් මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “ගෝලීය මට්ටමින් පොදුවේ ක්‍රීඩාව සහ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව සතු හැකියාවන් සම්බන්ධයෙන් අප සමාගම කවදත් විශ්වාසය තබා සිටිනවා. මේ හවුල්කාරීත්වයට අපට විශේෂ වන්නේ හුදෙක් ක්‍රිකට් ක්‍රීඩාව සමග අපට ඇති සමීප සම්බන්ධය හෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත ගමන්මග සම්බන්ධයෙන් අප තුළ ඇති උද්යෝගය නිසා පමණක් නොවෙයි. ශ්‍රී ලංකාව තුළ වැඩිම විශ්වාසයක් දිනා සිටින පාර්ශ්වයන් දෙකක් රටේ ජනප්‍රියම ක්‍රීඩාව වෙනුවෙන් එකමුතු වන මේ මොහොත ඉතාමත් සුවිශේෂී මොහොතක්. මේ හවුල්කාරීත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට නව යුගයක් වෙත පියනගන්නට දොරටු විවර කර දෙන්නට අප සූදානම්.”

 JAT Holdings සමාගම මීට පෙරද බොහෝ අවස්ථා වලදී මෙරට තුළ සහ විදේශ රටවල පවත්වන ලද ක්‍රීඩා තරග සඳහා අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. එම  සමාගම වරක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු ටෙස්ට් තරගාවලියක ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළ අතර, එම සංචාරයේ එක්දින තරගාවලියේ සහ තවත් තරගාවලි කිහිපයක සම අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කළේ ය. ක්‍රීඩාව තුළින් ජනතාව එකමුතු කිරීමට උත්සාහ කරන වගකීම් සහගත සමාගමක් ලෙස JAT Holdings සමාගම 2020/2021 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ගත් මෙම තීරණය, ඉදිරියේදී තවත් මෙබඳු පියවර රැසකට මංපෙත් විවර කරනු නොඅනුමාන ය.