BCI සරසවියේ ප්‍රථම ශිෂ්‍යයා ජනාධිපතිතුමාගේ සුරතින් ඇතුලත් වීමේ ලිපිය ලබාගනියි

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බී.සී.අයි කැම්පස් හි පළමු උපාධි අපේක්ෂකයින් වෙත බඳවා ගැනීමේ ලිපි නිල වශයෙන් ඉදිරිපත් කළ අවස්ථාව

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ජනවාරි 15වනදා සිකුරාදා, මීගමුවේ පිහිටි BCI සරසවියේ (16 වන බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන සරසවිය ) විශේෂ චාරිකාවක නිරත විය. ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ආරාධනාවකට අනුවය. මෙම වැඩසටහන දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින් හා සීමාසහිත සහභාගීත්වයකින් යුතුව සංවිධානය කර තිබිණි.

මෙම වැඩටහන සඳහා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, BCI සරසවියේ අධ්‍යක්ෂ ගරු ක්වින්ටස් ප්‍රනාන්දු පියතුමන්, ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමන්, ගරු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමන්, ගරු නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමන්, ගරු ප්‍රාථමික සෞඛ්‍යය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය, ගරු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මැතිතුමන්, ගරු බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මැතිතුමන්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මැතිතුමන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මැතිතුමන්, කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ සභාපති මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා, BCI සරසවියේ අධ්‍යයන සභාවේ සාමාජිකයන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බී.සී.අයි කැම්පස් හි සිදු කිරීමට යෝජිත සංවර්ධනයන් නිරීක්ෂණය කරමින්. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ද මෙම ඡායාරූපයේ සිටී.

උත්සව සභාවට සපැමිණි සියලු සම්භාවනීය අමුත්තන් පිළිගනිමින් BCI සරසවියේ අදියුරු ගරු ක්වින්ටස් ප්‍රනාන්දු පියතුමා මෙසේ පැවසීය.

“මීට වසර හයකට ඉහතදී BCI සරසවිය ස්ථාපිත කළේ ලාංකේය උසස් අධ්‍යාපනයට සාකල්‍ය හා අද්විතීය ප්‍රවේශයක් ලබාදීමටයි. අපගේ ප්‍රයත්නය තුලින් ලෝකයට සූදානම්, දැනුමෙන් හා කුසලතාවන්ගෙන් සපිරි විද්‍යාර්ථියෙකු බිහි කිරීමෙන් ඔබ්බට ගොස් මනා විනයකින් යුතු, මානවහිතවාදී, වගකීම් සහගත පුරවැසියන් බිහිකිරීම අපගේ අභිලාෂයයි. අපගේ සිසුදරුවන්ට ඔවුන්ගේ අභිප්‍රායන් කෙරෙන් අභිලාෂයන් කරා යන්නට අධ්‍යාපනික දැනුමෙන් හා කුසලතා සංවර්ධනයෙන් මෙන්ම සැබෑ මිනිසුන් ලෙස අවංකවූත්, අභිමානවත් වූත් වෘත්තිකයන් වීමට මඟපෙන්වීමට හැකිවීම මා විශේෂ කොට දකිනවා”.

ගරු පියතුමා විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගෙන් වසර ගණනක් මුළුල්ලේ ලැබුණු අමිල සහයෝගය පිළිබඳව රැස්ව සිටි පිරිසගේ අවධානය යොමු කළ අතර ජනපතිතුමන් 2015 වර්ෂයේ දී, පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියාණන් ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර BCI සරසවි පරිශ්‍රය ආසිරි ගැන්වීම සඳහා ප්‍රතිසංස්කරණය කරදීමෙන් ලබාදුන් සහයෝගය මෙහි ලා විශේෂ කොට දැක්වීය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු අනෙකුත් විශේෂ අමුත්තන් සමඟ

මෙම සභාවේ අදහස් දක්වමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේ පැවසීය. “අද අධ්‍යාපනය කියන්නේ හුදෙක් විද්‍යාව හා තාක්ෂණය ඉගෙනීම පමණක් නොව, ඉන් ඔබ්බට ගොස් තරුණයෙකුට ජීවිතය ජයගන්නට මඟ පෙන්වීමයි. එමනිසා, උසස් අධ්‍යාපන ආයතන විශාල ලාභ අරමුණු කරගැනීම පසෙක ලා, සිසුන්ගේ අධ්‍යාත්මය හා සදාචාරය ඔප් නංවන ආයතන බවට පත්විය යුතු බව මාගේ අදහසයි”.

මෙම උත්සවයේ විශේෂතම අංගය වූයේ BCI සරසවියේ අභිනව ශිෂ්‍ය කණ්ඩායම සඳහා ඇතුළත්වීමේ ලිපි ප්‍රදානයයි. මේ සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් කෙරුණු අතර මෙහිදී සිසුන් කිහිපදෙනෙකුට ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව ඇතුලත්වීමේ ලිපි ප්‍රදානය කෙරෙණි. පසුගිය වසරේ (2020) අගභාගයේ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් BCI සරසවිය උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙස නම්කල අතර BCI සරසවිය මඟින් ප්‍රදානය කරන උපාධි පාඨමාලාවන් 2020 නොවැම්බර් මස 30 වනදා කොළඹ අගරදගුරු මන්දිරයේ දී පැවැති මාධ්‍ය හමුවේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

ප්‍රධාන උත්සවයේ වැඩකටයුතු වලින් පසුව, BCI සරසවි ඉතිහාසයේ මෙම ස්වර්ණමය අවස්ථාව සනිටුහන් කරණු වස් යෝජිත “හරිත අංගණය” පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කොට තිබිණි.

අතිගරු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අතින් මේ අවස්ථාව සලකුණු කිරීම සඳහා පැළයක් රෝපණය කෙරුණු අවස්ථාව

උත්සව සභාව අමතමින් අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ “විශේෂයෙන් මේ පවත්නා වාතාවරණය තුල අපගේ ආර්ථිකය ගොඩනැංවීමට නම් , පුහුණු, කාර්යසූර මෙන්ම තම වෘත්තියේ අභිමානය පිළිබඳ අවබෝධයක් ඇති ශ්‍රම බලකායක් අවශ්‍ය වන අතර සීඝ්‍ර සංවර්ධනයක් අත්කර ගැනීමට ඉන් මනා පිටිවහලක් ලැබෙන බවයි’. තවදුරටත් අදහස් දැක්වූ එතුමා පවසා සිටියේ අනාදිමත් කාලයක පටන් කතෝලික සභාව විසින් මෙරට අධ්‍යාපනයෙහි අභිවෘධිය කෙරෙහි සිදුකොට ඇති මෙහෙය අතිමහත් බවත් BCI සරසවිය පසුගිය වසර 6 පුරා සිදු කොට ඇති අධ්‍යාපනික මෙහෙවර තමා අගය කරන බවයි.

BCI සරසවිය ආරම්භයේ සිට මේ දක්වා ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණ හා වෘත්තීය පාඨමාලා පිරිනමා ඇති අතර මේවන විට සිසුන් 17 200 ට අධික ප්‍රමාණයකට අධ්‍යාපනය ලබා දී ඇති වීම සුවිශේෂී කාරණාවකි. මේ වසරේ පටන් BCI සරසවිය උපාධි පාඨමාලා පිරිනමනු ලබන අතර පහත දැක්වෙන පාඨමාලා සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  • ව්‍යාපාර කළමනාකරණය (BBM ගෞරව )
  • තොරතුරු තාක්ෂණය (BSc ගෞරව )

BCI සරසවිය සිසුන් හට අධ්‍යාපනික අවස්ථා ලබාදීමට පමණක් සීමා නොවී සාකල්‍ය, වගකීම් සහගත, දැනුමැති, ආත්ම විශ්වාසයෙන් හෙබි, සදාචාරවත් පුද්ගලයින් බිහි කිරීමට ප්‍රයත්න දරන අතරම ඔවුන්ට තම තෝරාගත් වෘත්තියේ ලොව ඕනෑම තැනක විශිෂ්ටත්වයට පත්වෙමින් වගකීම් සහගත පුරවැසියන් ලෙස ජීවත් වීමට මඟපෙන්වීම අරමුණු කොටගෙන ඇත.

මෙම භාරදූර කර්තව්‍යය ඉටු කරලීම සඳහා කීර්තිමත් අධ්‍යාපනඥයින් රැසක් BCI සරසවිය හා එක් වී ඇති අතර ඔවුන්ගේ වසර ගණනක අත්දැකීම් සම්භාරය හා ඉගැන්වීමට ඇති කැපවීම දේශන ශාලාවෙන් ඔබ්බට යන සේවාවක් වනු ඇති බවට නිසැකය. ඔවුනට සහය වීම සඳහා සියලු මෙහෙයුම් විධිමත්ව හා අඛණ්ඩව ඉදිරියට ගෙන යා හැකි අනධ්‍යයන කාර්යය මණ්ඩලයකින්ද BCI සරසවිය පොහොසත් වේ.

සිසුන්ට මනා අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය වන උපකරණ, තාක්ෂණය හා අනෙකුත් සම්පත් වලින් සමන්විත නවීන පහසුකම් BCI සරසවිය සතු වේ. BCI පරිශ්‍රය නිර්මාණය කොට ඇත්තේ සිසුන්ට තම අධ්‍යයන කටයුතු වල යෙදීමටත්, සිසුන් අතර සහෝදරත්වය හා යහපැවැත්ම ගොඩනැගීමටත් හිතකර පරිසරයක් වන ආකාරයටය. මෙම සරසවිය ඉතා උසස් මට්ටමේ පරිශ්‍රයකින් සමන්විත වන අතර එහි මනරම් ස්වාභාවික උද්‍යානය හා සතර අතින් ඇති මනස්කාන්ත හරිත පැහැය මනස සුවපත් කරවන සුළුය. මෙමගින් දැනුමට හා ස්වයං වර්ධනයට මනස විවෘත වන්නට දිරිගැන්වෙන හිතකර වාතාවරණයක් හා පරිසරයක් ගොඩනැගෙනු ඇති බව නොඅනුමානය.

සරසවි පරිශ්‍රයට පැමිණ නිරීක්ෂණය කිරීමේ අවස්ථාව දැන් සිසුන්ට හා දෙමාපියන්ට ලබාදී තිබේ. එමඟින් සරසවියේ පුළුල්, අවශ්‍යතා අනුව සැකැසුණු, අති නවීන තාක්ෂණය යොදාගැනෙන පහසුකම් මෙන්ම සුන්දර වටපිටාව මඟින් ඉගෙනුමට අත්වන රුකුල අත්දැකීමට හැකියාව ලැබේ. ඉහත පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ වී ඇති බැවින්, සිසුන්ට මෙන්ම දෙමාපියන්ටද සරසවිය වෙත පැමිණ වැඩිදුර තොරතුරු ලබාගන්නා ලෙසට BCI පාලනාධිකාරිය ඇරයුම් කර සිටියි.

සිසුන්ට හා දෙමාපියන්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.bci.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ 031 2035100 / 070 6035100 යන දුරකථන අංක ඇමතීමෙන් ද ලබාගත හැක.