වතු වැටුප රුපියල් දහසයි, පඩි පාලක සභාව තීරණය දෙයි

මෙරට තේ සහ රබර් වගාව ආශ්‍රිත පාලිත සමාගම් යටතේ සේවය කරන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (රු.1000) ඉහල නැංවීමට තේ සහ රබර් සඳහා වන පඩිපාලක සභා තීරණය කරයි.

අද (8) රැස් වූ වතු වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ තේ සහ රබර් සඳහා වන පඩිපාලක සභාවලදි මෙම තීරණයට එළඹි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

වසර පහකට ආසන්න කාලයක් දිග්ගැස්සෙමින් කල් දමනු ලැබූ වතු කම්කරුවන්ගේ මෙම රුපියල් දහස දක්වා දෛනික වැටුප වැඩි කිරීමේ ඉල්ලීම ඉටුකරන බවට අතිගරු ජනාධිපතිතුමා රට හදන සෞභාග්‍යයේ දැක්ම තුළින් ලබාදුන් එකඟතාවය ,ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය අයවැයේ දී තහවුරු කිරීමෙන් අනතුරුව අප විසින් දිගින් දිගට වතු සමිති නායකයන් සහ හාම්පුතුන් සමග කරන ලද සාකච්ඡා වලින් පසුව අද දින එම ඉල්ලීම යථාර්ථයක් බවට පත් කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වෙනවා.වතු කම්කරුවන්ගේ වැටුප් හා වෙනත් කටයුතු පිළිබඳව මීට පෙර ක්‍රියාත්මක වූයේ වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් විසින් අත්සන් තබනු ලැබූ සාමූහික ගිවිසුමට අනුවයි.

ඒ අනුව පසුගිය මාස කිහිපයක් මෙම වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව සාකච්ඡා වට 12කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා තිබෙනවා.දෙපාර්ශව ඉදිරිපත් කළ කොන්දේසි වලට දෙපාර්ශවයේම ඇතිවූ පරස්පර විරෝධී තාවයන් නිසා එම සාමූහික ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි වූ නිසා, පඩි පාලක සභාව ස්ථාපිත කොට ඒ අනුව රජයේ නියමයන්ට අනුකූලව දෛනික වැටුප් තලයන් හි වතු කම්කරුවන්ගේ වැටුප් පිහිටුවා අද දින එම වැටුප් තීන්දුව ප්‍රකාශයට පත් කළ බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහි දී වෘත්තී සමිති නායකයන් විසින් ඉදිරිපත් කළ යෝජනාව වූයේ රුපියල් 900ක මූලික වැටුප සහ රුපියල් සීයක අයවැය යෝජනා දීමනාවක් ලබා දීමයි.මෙම යෝජනාව සඳහා හාම්පුතුන් එකඟ නොවූ අතර ඒ අනුව එම යෝජනාව පිළිබඳව පැවැත් වූ ඡන්ද විමසීමේ දී ඡන්ද 11ට අටක් ලෙස වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනාව සම්මත විය.

ඒ අනුව රබර් සහ තේ කර්මාන්ත සඳහා වන පඩිපාලක සභා ඔස්සේ මෙම වැටුප් වැඩි කිරීමේ යෝජනාව අද දින අප විසින් සම්මත කර ගනු ලැබුවා.මෙම වැටුප් වැඩිවීම තුළින් වතු ක්ෂේත්‍රයේ සේවය කරන එක් ලක්ෂ පනස් පනහකට ආසන්න වතු කම්කරු ජනතාව වතුකම්කරු ජනතාවකට සෙත සැලසෙනු ඇත.