මෝටර් රථ එකලස් කිරීමේ සියලු පියවරයන් ලාංකික තාක්ෂණ ශිල්පීන්ගේ දෑතින් මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ (MILPL) වැලිපැන්න කර්මාන්ත ශාලාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ සදාසිවම් දුරෛයිරාජ් මහතා නම් ඉන්දියානු මෝටර් රථ ඉංජිනේරුවරයා විසින් මෙහෙයවනු ලැබූ පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් වූ අතර, මින් ඉදිරියට MILPL කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු 100%ක් ශ්‍රී ලාංකික තාක්ෂණ ශිල්පීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ සිදු කිරීමට නියමිතය.
ඉංජිනේරු සදාසිවම් දුරෛයිරාජ් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, වසර දෙකක කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු තාක්ෂණ හුවරමාරු වැඩසටහන සහ අංශ ප්‍රධානී ලෙස එතුමන් විසින් හොබවනු ලැබූ සේවා කාලය 2021 ජනවාරි 31 දිනෙන් අවසන් කළ බවත්, මෙම පුහුණුව හරහා ශ්‍රී ලාංකික තාක්ෂණ ශිල්පීන් දැනුම හා නිපුණත්වය අතින් ඉතාමත් සතුටුදායක තලයකට පත් කරන්නට හැකි වීම ගැන තමන් සතුටට පත් වන අතරම ඉන්දියාවේ Mahindra & Mahindra සමාගමේ පිරිවිතරයන්ට අනුකූලව ඉදිරි මෙහෙයුම් කටයුතු සිදු කරන්නට ඔවුන්ට හැකිවනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බවයි.
“MILPL හි සේවය කරන ශ්‍රී ලාංකික තාක්ෂණ ශිල්පීන්ට මෝටර් රථ එකලස් කිරීමේ සිට දෝෂ නිරාකරණය දක්වා ඕනෑම තාක්ෂණික කටයුත්තක් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවම සිදුකිරීමේ හැකියාව දැන් ලැබී ඇති බව මට සහතික වශයෙන්ම සඳහන් කරන්නට පුළුවන්”
“එකලස් කිරීමේ ශිල්පීන්ට තාක්ෂණය සහ යාන්ත්‍රික විෂයන් පිළිබඳ මෙන්ම උසස් තත්ත්වයේ නිෂ්පාදන සැලසුම් පිළිබඳවත් ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ශ්‍රී ලාංකික තාක්ෂණ ශිල්පීන්ට දැන් මඟපෙන්වීමක් නොමැතිව එකලස් කිරීමේ කටයුතු ස්වාධීනව සිදු කිරීමට හැකියාවක් සහ පුහුණුවක් ලැබී තිබෙනවා.”
“මෙම පුහුණුවේදී ලාංකික තාක්ෂණ ශිල්පීන් 50 දෙනෙකු පමණ මා යටතේ පුහුණුව ලැබුවා. ඔවුන්ට ගුණාත්මක නිෂ්පාදනයක් එකලස් කිරීමේ ඒකකයක වැඩ කිරීමේ අවස්ථාව මේ හරහා නිතැතින්ම ලැබුණා. එය මගේ වෘත්තියත් පහසු සහ තෘප්තිමත් එකක් කරන්නට සමත් වුනා. මා පළමුවරට ඔවුන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී, ඔවුන්ගෙන් සරල ප්‍රශ්න කිහිපයක් අසන්නට සූදානමින් සිටියත් ඔවුන් මා පුදුමයට පත් කරමින් වාහන අමතර කොටස්, මෝටර් රථ පද්ධතිවල වැදගත්කම සහ මූලහේතු වැනි කාරණා පිළිබඳ ඉතාමත් හොඳ අවබෝධයක් ඇතිව කතා කළා. අනාගතයේ දවසක ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු මෝටර් රථයක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන්නට හැකිවනු ඇතැයි එයින් මා තුළ ලොකු විශ්වාසයක් ඇතිවුනා. ප්රමිතිකරණය, වැඩබිම් සුරක්ෂිතතාව සහ විනය වැනි කාරණාවන් පුහුණුවේ මූලික අදියරයන් ලෙස මා හඳුනා ගත්තා. මෙම කාලය තුළ ඔවුන් ඉතා ඉක්මනින් ඉගෙන ගත්තා. ප්රමිතිකරණය සහ පිරිවිතරයන් ගැනත් ඉතා හොඳ අවබෝධයක් ලැබුවා. ඔවුන් ඉතා හොඳ ශිෂ්‍ය පිරිසක් වූ බව මට කියන්න පුළුවන්”
ශ්‍රී ලාංකික තාක්ෂණ කාර්ය මණ්ඩලය පිළිබඳ සිය පෞද්ගලික අදහස ඔහු මෙසේ සඳහන් කළේය.
“ඔවුන් ඉතා හොඳ ස්වයං විනයක් ඇති අය බව මා දුටුවා. සාවධානය, ගැටලු විසඳීමේ හැකියාව, තාක්ෂණය ගැන ඇති උනන්දුව සහ පාරිභෝගිකයා ඉලක්ක කරගත් නිෂ්පාදනයක් නිර්මාණය කිරීම යන සියලු කාරණා අතින් ඔවුන් ඉතා ඉහළ නිපුණත්වයක් පෙන්නුම් කළා.”
“ගෝලීය මෝටර් රථ නිෂ්පාදන වෙළඳපොළ සැපයුම් දාම ක්ෂේත්රය සම්බන්ධයෙන් වඩා ඵලදායී ප්‍රවේශයක් මේ වන විට අනුගමනය කරමින් සිටිනවා. අපගේ මහින්ද්‍රා අයිඩියල් ලංකා වැඩබිම එවැනි ඵලදායී නිෂ්පාදනාගාරයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. අමතර කොටස්වලින් 30%ක් අප දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබනවා. ඒ අනුව ආසන, දහන පද්ධති, බැටරි සහ ටයර් වැනි දේශීයව අගය එකතු කළ නිෂ්පාදන මාසික අවශ්‍යතා අනුව ඇණවුම් කොට කලට වේලාවට නිකුත් කිරීමට අප කටයුතු කරනවා. අනෙකුත් භාණ්ඩ සහ කොටස් ආනයනය, තොග රඳවා ගැනීමේ ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක කෙරෙනවා. ඇසුරුම් කිරීමේ කාලය, නැව්ගත කිරීම හා පාරිභෝගික නිෂ්කාෂණය යන කරුණු මත එය තීරණය වෙනවා.”
“මහින්ද්‍රා වාහන යනු ඉතා ඉහළ විශ්වසනීයත්වයක් දිනාගත් නිෂ්පාදන පෙළක්.
ඉන්දියාව තුළ ස්කෝර්පියෝ සහ බොලරෝ සමාගම් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ද මේ හේතුව නිසාමයි. ශ්‍රී ලංකාවේ අයිඩියල් මෝටර්ස් යනු සේවා මධ්‍යස්ථාන, ප්රදර්ශනාගාර, සැපයුම් හා පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ජාලයක් ද සහිතව එලෙස පිහිටුවනු ලැබූ ඉතා ප්රශස්ත සමාගමක්. මෙම හවුල්කාරීත්වය තුළින් පාරිභෝගිකයාට වඩාත් විශිෂ්ට සේවාවක් ලබා දීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා.”
එකලස් කිරීමේ ඒකකයේ ධාරිතාව පිළිබඳ අදහස් දක්වමින් සදාසිවම් මහතා, “මෙහි වාර්ෂික ධාරිතාව ඒකක 5,000ක් පමණ වනවා. ශීඝ්‍රයෙන් ඉහළ යන වෙළඳපොළ අවශ්‍යතාව වෙනුවෙන් මේ වන විට අප මාසිකව මෝටර් රථ 100කට අධික ප්‍රමාණයක් දෛනිකව නිෂ්පාදනය කරනු ලබනවා. මෑතකදී අප විසින් KUV100 නමින් මැනුවල් පෙට්‍රල් මාදිලියක් හඳුන්වා දෙනු ලැබුවා. එහි ඩීසල් මාදිලිය ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතයි.”
“අපගේ MILPL තාක්ෂණ ශිල්පීන්, දෝෂ රහිතව කලට වේලාවට නිසි පරිදි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට නිරන්තරයෙන් කැපවී සිටින පිරිසක්. මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ සේවය කළ පසුගිය වසර 2ක කාලය ඉතාමත් තෘප්තිමත් වෘත්තීය අත්දැකීම්වලින් පිරුණු කාලයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ඉතා දක්ෂ, අත්දැකීම් ඇති, මිත්‍රශීලී සේවක පිරිසක් මට මෙහිදී හඳුනා ගන්නට ලැබුණා. මෙවැනි විශිෂ්ට ආයතනයකින් සමුගෙන යන්නට වීම ගැන මා කණගාටු වන අතරම මෙම ආයතනයේ සේවය කරන්නට අවස්ථාව ලබන ඕනෑම අයෙකුට මෙය ජවයෙන් පිරුණු වැඩබිමක් බව නිසැකවම අවබෝධ කරගත හැකියි.”
සදාසිවම් මහතා ඔහුගේ ඊළග අභියෝගාත්මක තනතුර සඳහා ලබන මාසයේ ඉන්දියාවට බලා පිටත්ව යාමට නියමිතය.