වෙස්ටරන් පවර් සමාගම කසළ බලශක්තියට හරවන මෙරට ප්‍රථම විදුලි බලාගාරය දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම කසළ බලශක්තියට (Waste-to-Energy) හරවන විදුලි බලාගාරය කෙරවළපිටිය ප්‍රදේශයේදී නිල වශයෙන් විවෘත කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්” ගරු බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා” බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගුවන් හමුදාවේ මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා” ගරු කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මැතිණිය” එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමූහයේ සභාපති දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා සහ සෙසු ගෞරවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම විවෘත කිරීම සිදු කෙරිණි.

කොළඹ මහ නගර සභාවට සිය බලප්‍රදේශය තුළ දෛනිකව ගොඩගැසෙන ටොන් දහස් ගණනක අපද්‍රව්‍ය නිසි ආකාරයට බැහැර කිරීම දිනෙන් දින වර්ධනය වන ගැටළුවක් වී තිබුනි. මෙම තත්ත්වය මැනවින් සැලකිල්ලට ගනිමින් කොළඹ මහනගර සභාව සිය කුණු කසල පරිසර හිතකාමී ආකාරයට බැහැර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට ලංසු කැඳවන ලදී.

එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමූහයෙහි පූර්ණ හිමිකාරීත්වය යටතේ පාලනය වන වෙස්ටර්න් පවර් (පුද්ගලික) සමාගම ඉදිරිපත් කළ ලංසු තැබීම සඳහා එහිදී ජයග්‍රහණය හිමි වූ අතර, එයිට්කන් ස්පෙන්ස් සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා මූලිකත්වය ගන්නා ලදී. එතැන් සිට වර්ෂ කිහිපයක කාලයක් ඉතාමත් සුපරීක්ෂාකාරීව සැලසුම් නිර්මාණය කරමින් ඉදිකිරීම් කටයුතු සිදුකළ මෙම ව්‍යාපෘතිය සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 15ක ආයෝජනයක් සිදුකරන ලදී.

ඉන් අනතුරුව වෙස්ටර්න් පවර් සමාගම අපද්‍රව්‍ය සැපයුම් ගිවිසුමක් (WSA) කොළඹ මහනගර සභාව සමග අත්සන් තබන ලද අතර, ලංකා විදුලි බල මණ්ඩලය සමග ප්‍රමිතිගත බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමක් (SPPA) සඳහාද එළඹෙන ලදී. මෙම ගිවිසුම 2017 වර්ෂයේ අත්සන් තබන ලද අතර වර්ෂ විස්සකින් කල් පිරෙන ව්‍යාපෘතියකි. වෙස්ටර්න් පවර් සමාගම ප්‍රමුඛ පෙළේ චීන ඉදිකරීම් සමාගමක් සමග කොන්ත්‍රාත්තුවකට එළඹෙමින් අති නවීන අපද්‍රව්‍ය දහන බලශක්ති නිෂ්පාදන කර්මාන්තශාලාවේ ඉදිකිරීම් සැලසුම් කිරීම හා ආරම්භ කිරීමට කටයුතු කරන ලද අතර ඩෙන්මාර්කයේ කීර්තිමත් ඉදිකිරීම් උපදේශක සමාගමක් වන "Ramboll AG" ව්‍යාපෘති හිමිකරුගේ නියෝජිත (Owner’s Engineer&) වශයෙන් පත්කරන ලදී.

අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය සුභාශිංසන පණිවිඩයේ මෙලෙස සඳහන් කර සිටී "කොළඹ නගරයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය දීර්ඝ කාලයක සිට විවිධ අභියෝගයන්ට මුහුණ පාමින් ක්‍රියාත්මක වුනා. ඒ වෙනුවෙන් ගන්නා ලද අමිල උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ඇරඹෙන කසළවලින් බලශක්තිය නිපදවීමේ waste-to-energy කෙරවළපිටිය ව්‍යාපෘතිය සුවිශේෂී වෙනවා. එය කොළඹ නගරයේ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම ඝන අපද්‍රව්‍ය කළමනාකරණයෙහි සුවිශේෂී සංධිස්ථානයක් බවත් කිව යුතුයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික වූ කොළඹ මහ නගර සභාවටද, ව්‍යාපෘතිය සඳහා මුල්‍ය දායකත්වය ලබා දෙමින් එය ක්‍රියාත්මක කරනු ලබන එයිට්කන් ස්පෙන්ස් සමූහ ව්‍යාපාරයට ද, විදුලි බල අමාත්‍යාංශයටද මාගේ සුභාශිංසන එක්කරමින් "මෙම සුවිශේෂී ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වන එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමූහයේ සභාපති දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා මෙසේ පවසා සිටියේය.

පුඵල් පරාසයක පැතිරුණු ව්‍යාපාර සමූහයක් වශයෙන් අපි හැමවිටම නව ආයෝජනයන් කෙරෙහි අවධානය යොමු කරනවා. තිරසාරභාවය, වගකීම් සහගත ව්‍යාපාරකරණය, නව්‍යකරණය හා සංවර්ධනය මත පදනම් වූ ප්‍රගතිය මේ බලශක්ති ව්‍යාපෘතියේ මූලික අංගයන්. දීර්ඝ කාලයක් පුරා ඉතා සැළකිල්ලෙන්, වෙහෙස නොබලා කළ සැළසුම් ක්‍රියාත්මක කිරීමක අවසානයේදී මේ ව්‍යාපෘතිය සාර්ථකව දියත් වී තිබෙනවා දැකීම විශාල සතුටක්. මෙම විදුලි බලාගාරය කොළඹ අගනගරයේ අලංකරණයට උපකාරී වෙනවා වගේම පිරිසිදු පුනර්ජනනීය බලශක්ති සම්පත් ප්‍රවර්ධනය සඳහා නව මගක් විවෘත කිරීමක්ද වෙනවා”

ගරු බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා මෙම අවස්ථාව සඳහා සිය සුභාංශිසන මෙලෙම එක් කළේය “ලක් පරිසරයම දුර්වර්ණ හා දුර්ගන්ධ කරමින් සංවේදී හා සංකීර්ණ අර්බුධයක් බවට පත්ව ඇති කසල ප්‍රශ්නයට විදුලියෙන් තිරසාර විසඳුමක් ගෙන එමින පුනර්ජනනීය විදුලි උත්පාදනය නැවුම් මාවතකට යොමු කිරීම විදුලි බල අමාත්‍යාංශයේ අරමුණයි. අද දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුන් අතින් ජාතියට දායාද කෙරෙන කෙරවලපිටියේ ඉදිවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරයෙන් පණ ලබන්නේ ජාතික විදුලි ජනන පද්ධතිය පමණක් නොවේ. මෙම ව්‍යාපෘතිය යථාර්තයක් බවට පත් කිරීමට සවිය, බලය, දිරිය දුන් ලංකා විදුලි බල මණ්ඩලයටත්, කොළඹ මහා නගර සභාවටත්” එයිට්කන් ස්පෙන්ස් සමූහ ව්‍යාපාරයටත් විදුලි බල අමාත්‍යවරයා වශයෙන් මගේ ප්‍රණාමය පුද කර සිටිමි”

කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් “කසල විදුලිය බවට පරිවර්තනය කරන මෙම ව්‍යාපෘතිය හරහා මෙතෙක් කාලයක් කොළඹ මහා නගර සභා ප්‍රදේශයේ දැවැන්ත ගැටඵවක් බවට පත්ව තිබූ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කරගැනීමේ අභියෝගට ඉතා සාර්ථක හා තිරසාර විසඳුමක් ලැබී තිබෙනවා" යැයි පැවසීය.

විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ කසල බැහැර කිරීම දශක ගණනාවක සිට විශාල පරිසර ගැටඵවක්ව පවතින අතර, එහි දිනපතා එකතුවන ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය පමණක් ප්‍රමාණයෙන් මෙටි්‍රක් ටොන් 3500 ඉක්මවයි. මෙම කර්මාන්තශාලාව නොමැතිව පැවති කාලයේදී කොළඹ මහනගර සභාවේ එකතුවන අපද්‍රව්‍ය නිසි ආකාරයට බැහැර නොකිරීමෙන් බරපතල ලෙස පාරිසරික හා භූගත ජල දූෂණයක් සිදුවෙමින් පැවතුනි. මෙම කර්මාන්ත ශාලාව විසින් දෛනිකව කසල මෙටි්‍රක් ටොන් 600-800 ප්‍රමාණයක් යොදාගනිමින් නිපදවන බලශක්තිය ජාතික විදුලි බල පද්ධතියට ලබාදීම සිදුකරයි.

තිරසාරභාවය, සමාජීය වගකීම හා පාරිසරික වගකීම පිළිබඳ එයිට්කන් ස්පෙන්ස් සමාගම අනුගමනය කරන ආචාර ධර්ම පද්ධතිය අනුව මෙම කර්මාන්තශාලාව ක්‍රියාත්මක වේ. නවීනතම තාක්ෂණය උපයෝගී කරගනිමන් පරිසර බලපෑම අවම කරගනිමින් සුනිත්‍ය බලශක්තිය නිපදවීම සඳහා එයින් ලැබෙන සහයෝගය අතිශය වැදගත්ය. කසල දහනයෙන් පසු ඉතිරිවන අ`ඵ ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය බ්ලොක් ගල් නිපදවීමට යොදාගැනීමද තවත් අතකින් සුවිශේෂී කරුණකි. එමෙන්ම හානිකර අංශු මගින් පරිසර හානි සිදුනොවීම සඳහා මීටර 60ක් උස බටයක් හරහා එම දුමාරය ගුවනට යොමු කරයි.

කෙරවළපිටිය waste-to-energy කර්මාන්තශාලාව මගින් 10MW බලශක්තියක් ජාතික විදුලි පද්ධතියට සපයනු ලබයි. එය බස්නාහිර මහනගර සැලසුමේ වැදගත් ඉලක්කයකි. මෙම ව්‍යාපෘතිය හරහා නිපදවන සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ NCRE ඉලක්ක සමග අනුකූලතාවය දක්වයි. සමාජ, පරිසර යහපාලනය හා තිරසාරභාවය පිළිබඳ මූලධර්ම පදනම් කරගනිමින් මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීම පවා සිදුකළ අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මෙම ප්‍රමිතීන් තවදුරටත් විධිමත්ව අනුගමනය කිරීමට සැලසුම්කර තිබේ.