කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා එක්ව “දියණිය” ව්‍යාපෘතිය දියත් කරමින් ඊවා (Eva) ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ගරු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා, එම අමාත්‍යාංශයේ ගරු ලේකම් කේ.එම්.එස්.ඩී. ජයසේකර මහත්මිය, කැපිටල් මහරාජා සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් කනෝජියා මහතා, ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය, ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීපාරක්ෂක තුවා සන්නාමය වන ඊවා (Eva) මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්, ශ්‍රී ලාංකික කාන්තාව සවිබල ගැන්වීම ඉලක්ක කරගත් සුවිශේෂී සමාජ මෙහෙවරක් “දියණිය” නමින් පසුගියදා දියත් කළේය.

දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය, පාසල් ශිෂ්‍යාවන්ගේ යහපත වෙනුවෙන් ගරු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ප්‍රමුඛ එම අමාත්‍යාංශය හා සහයෝගයෙන් ක්‍රියාත්මක වන්නකි.

ගරු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා (වමේ) කැපිටල් මහරාජා සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් කනෝජියා මහතා (දකුණු පසින්) සමඟ අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගනිමින්.

දියණිය වැඩසටහනෙහි මූලික අවධානය යොමු වන්නේ සියඵම ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍යාවන් හට සිය සනීපාරක්ෂාව හා සම්බන්ධ අවශ්‍යතාවයන් පහසුවෙන් සපුරා ගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමයි. මේ වැඩසටහනෙහි පළමු අදියර යටතේ දිවයින පුරා තෝරා ගත් පාසල් 250 කට සනීපාරක්ෂක තුවා, මුහුණු ආවරණ, විෂබීජ නාශක හා අනෙකුත් අත්‍යවශ්‍ය ප්‍රථමාධාර ද්‍රව්‍ය අඩංගු අල්මාරි පිරිනැමීමට නියමිතය.

ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය විසින් ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය වෙත සංකේතාත්මකව නව Free and Easy by Eva නිෂ්පාදන තොගය පරිත්‍යාග කරමින්.

ඉන් අනතුරුව Eva විසින් සුදුසුකම් ලත් වෘත්තීයමය උපදේශකයින් සමඟ මෙම පාසල් වෙත ගොස් එම ශිෂ්‍යාවන් වෙත කාන්තා/ඔසප් සනීපාරක්ෂාව පිළිබඳව අත්‍යවශ්‍ය දැනුම බෙදා දීම සිදු කෙරෙනු ඇත.

මේ හරහා එම ශිෂ්‍යාවන් හට සිය සනීපාරක්ෂක අවශ්‍යතාවයන් කළමනාකරණය කරගැනීමට අවශ්‍ය සම්පත් මෙන්ම ඒ හා සම්බන්ධ දැනුම හා අවබෝධයද නොඅඩුව ලබා දෙමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවන තත්ත්වය නඟා සිටුවීම Eva හි අපේක්ෂාවයි.

දිවයින පුරා සියලු පාසල් ශිෂ්‍යාවන් හට සිය සනීපාරක්ෂක අවශ්‍යතාවයන් නොමිලේ ඉටු කරගැනීමට අවස්ථාව සළසන දියණිය වැඩසටහන පුරාවට අඛණ්ඩවම සිය දායකත්වය දැක්වීමට Eva කටයුතු කරනු ඇත.

දියණිය වැඩසටහන දියත් කරන අවස්ථාව සඳහා ගරු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා එම අමාත්‍යාංශයේ ගරු ලේකම් කේ.එම්.එස්.ඩී. ජයසේකර මහත්මිය මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය, කැපිටල් මහරාජා සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් කනෝජියා මහතා, ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය ඇතුඵ පිරිසක් සහභාගී විය.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් එහි සංකල්පය නිර්මාණය කළ ගරු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙසේ පැවසීය,

"දියණිය ව්‍යාපෘතිය පිළිබඳව සංකල්පය නිර්මාණය වන්නේ ශ්‍රී ලංකාව පුරා පාසල් ශිෂ්‍යාවන් හට ඔවුන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා වියදම් නොමැති, පහසු ක්‍රමයක් නිර්මාණය කිරීමේ අරමුණ මතයි. 2021 ජාත්‍යන්තර කාන්තා දිනය සමරන අවස්ථාවේදී මෙම සුවිශේෂී ව්‍යාපෘති දියත් කිරීමට හැකි වීම අපට විශාල සතුටක්. අපේ රටේ කිසිම පාසල් ශිෂ්‍යාවකට සනීපාරක්ෂක අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වීම නිසා අධ්‍යාපනය හෝ වෙනත් ජීවිතයේ වැදගත් අවස්ථාවන් මඟ හැරීමට සිදු නොවන තත්ත්වයක් නිර්මාණය කිරීමට මේ ව්‍යාපෘතිය ඉතා වැදගත් වනු ඇති. මේ හරහා ඔවුන්ට පහසුවෙන් සනීපාරක්ෂක අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකි වන නිසා ඔවුන්ගේ ජීවිතවල සැළකිය යුතු සාධනීය වෙනසක් සිදු වනු දැකීම අපේ බලාපොරොත්තුවයි”

කැපිටල් මහරාජා සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් කනෝජියා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය, "කාන්තා පුරුෂ දෙපාර්ශවයටම සම තැන ලබාදීම වැදගත් කොට සළකන ආයතනයක් වශයෙන් අපි හැමවිටම රැකියා ස්ථානයේ මෙන්ම සමාජය තුළ කාන්තාව සවිබල ගැන්වීමට සහයෝගය ලබා දී තිබෙනවා. Eva විසින් දියත් කරන ලද මේ සුවිශේෂී ව්‍යාපෘතිය කාන්තාව සවිබල ගැන්වීම වෙනුවෙන් අපි දක්වන කැපවීමට තවත් උදාහරණයක්. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල යොවුන් දැරියන් මුහුණ දෙන අභියෝගවලට සාර්ථක විසඳුම් ලබා දීමටත්" දැනුවත්බව පැතිරවීමටත් මේ ව්‍යාපෘතියට හැකියාව තිබෙනවා. තිරසාර ක්‍රමවේදයකට අනුව අඛණ්ඩවම උත්සාහ කිරීම හරහා කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ දෙනා කථා කිරීමට පවා පැකිළෙන ගැටඵ රාශියකට සාර්ථක විසඳම් ලබා දිය හැකි බව අපි විශ්වාස කරනවා”

මේ අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය මෙසේ පැවසීය, “ඔසප් සනීපාරක්ෂාව සම්බන්ධ පහසුකම්වලට ප්‍රවේශය නොමැති වීම නිසා ශ්‍රී ලංකාව පුරා බොහෝ පාසල් ශිෂ්‍යාවන් ප්‍රමාණයක් ගැටඵවලට මුහුණ දෙනවා. මේ දැවැන්ත ගැටඵවේ අහිතකර ප්‍රථිඵල බොහෝ විට අවධානයට යොමු නොවී පවතිනවා. එනිසා මේ දැවැන්ත කාර්යයට නොපැකිළව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් Eva වෙත ප්‍රණාමය හිමි විය යුතුයි. මේ ව්‍යාපෘතියට සම්බන්ධ වන සියඵ පාර්ශවයන් මීට දක්වන දැඩි කැපවීම නිසා නුදුරේදීම අපට විශාල වෙනසක් සිදු කිරීමට හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි"

මේ පිළිබඳව අදහස් දක්වමින් ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණිය වන චේතිකා රාජපක්ෂ මහත්මිය මෙසේ පැවසුවාය,

"මිලියන ගණනක් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ආදරය හා විශ්වාසය දිනූ සන්නාමයක් වශයෙන් අපි හැමවිටම සමාජ වගකීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින්" කාන්තාව සවිබල ගැන්වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා එක්ව සිදු කරන මෙම ව්‍යාපෘතිය හරහා දහස් සංඛ්‍යාත පාසල් ශිෂ්‍යාවන් පිරිසකගේ ජීවිතවල සැබෑ වෙනසක් සිදු කිරීමට අපි අපේක්ෂා කරනවා. මේ ප්‍රයත්නය අඛණ්ඩවම ඉදිරියට ගෙන යාම සඳහා තවත් විශේෂ පියවර ගණනාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා" එවන් එක් පියවරක් වශයෙන් සියඵම කාන්තාවන් සඳහා පහසුවෙන් හා අවම වියදමකින් සනීපාරක්ෂක තුවා ලබා ගැනීමට අවස්ථාව සළසන වඩා පහසු මිලකට අලෙවි කෙරෙන නව Free and Easy by Eva සන්නාමයද හඳුන්වා දීමද දියණිය වැඩසටහන දියත් වන අවස්ථාවේදී සිදු කෙරිණි. මෙම නව සනීපාරක්ෂක තුවා තොගයක් ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ගේ සංවිධානය වෙත පරිත්‍යාග කිරීමද එහිදී සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතියේම තවත් දිගුවක් වශයෙන් නුදුරේදීම ශ්‍රී ලාංකික කාන්තාවන්, විශේෂයෙන්ම පාසල් ශිෂ්‍යාවන් හට සිය සනීපාරක්ෂාව හා සෞඛ්‍ය සම්බන්ධ ගැටඵ සඳහා නොමිලේ වෘත්තීමය උපදේශනය ලබාගත හැකි කෙටි ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වාදීමට Eva සැළසුම් කරමින් සිටී. මේ හරහා ඔවුන් හට සිය ගැටඵ සඳහා අවශ්‍ය උපදෙස් ඉතා ඉක්මනින්, පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කරගනිමින් ලබා ගැනීමට හැකි වනු ඇත.

පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ආදරය දිනූ Eva සනීපාරක්ෂක තුවා වෙළඳපොලෙහි 75% කට වැඩි කොටසකට හිමිකම් කියන අවිවාදිත ප්‍රමුඛයා වේ. සියලුම එම Eva නිෂ්පාදන SLS ISO 9001 හා NMRA සහතිකකරණය ලද නිෂ්පාදන පිළිවෙත්වලට අනුකූලව ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය වේ.

ශ්‍රී ලාංකික කාන්තාවට සැබැවින්ම “විශ්වාසයෙන් පෙරටම” යෑමට රුකුලක් වෙමින් සිය අති නවීන පර්යේෂණ හා තාක්ෂණ අංශය හරහා නිරන්තරයෙන්ම සිය නිෂ්පාදන වැඩිදියුණු කිරීමට Eva කටයුතු කරයි.