වෘත්තීය සමිති නිලතල සාධාරණ ප්‍රතිශතයක් කාන්තාවන්ට හිමි වන පරිදි වෘත්තීය සමිති පනත වෙනස් කරනවා

මේ රටේ වැඩ කරන ශ්‍රම බලකයෙන් 35% කාන්තාවෝ. වතු ආර්ථිකය තුළත් විදේශ රැකියා ක්ෂේත්‍රය තුළත් කම්හල්වලත් වැඩි වශයෙන්ම සේවය කරන්නේ කාන්තාවන්. එසේම කම්කරුවාගේ සිට පරිපාලන නිලධාරියා දක්වා විවිධ තලයන්හි කාන්තාවන් සේවය කරනවා. නමුත් මෙරට වෘත්තීය සමිති දෙස බලන විට, ඒවායේ නිලතල වලට කාන්තාවන් පත් වී නැහැ. වෘත්තීය සමිති විවිධ කාරණා සම්බන්ධව සාකච්ඡා කරන්න මා හමුවට පැමිණෙන අවස්ථාවල එම නියෝජිත මණ්ඩලවල පවා කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන්නේ නැහැ. එම නිසා වෘත්තීය සමිතිවල ප්‍රධාන නිලතල වලින් සාධාරණ ප්‍රතිශතයක කාන්තාවන් අනිවාර්යෙන්ම සිටිය යුතු බවට කම්කරු වෘත්තීය සමිති ආඥා පනත වෙනස් කිරීමට කාලය එළඹ ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පසුගියදා (08) ප්‍රකාශ කළේ කම්කරු අමාත්‍යාංශයේ පැවැති ජාත්‍යන්තර කාන්තා දින සමරු උත්සවයේදීය.


මෙහි දී මෙරට කම්කරු නීති හා ළමා ශ්‍රමය පිළිබඳව බාලදක්ෂිකාවන් දැනුවත් කිරීම හා බාලදක්ෂිකාවන් මගින් පරිවාර සමාජය දැනුම්වත් කිරීම හා ළමා ශ්‍රමය පිටු දැකීමට අදාළව අවබෝධතා ගිවිසුමක් මෙහි දි අත්සන් කරනු ලැබීය.

මෙහි විශේෂත්වය වන්නේ ළමා ශ්‍රමය පිටු දැකීම සම්බන්ධව කටයුතු කරන බාලදක්ෂිකාවන්ට ඒ සම්බන්ධව ළමා ශ්‍රමය පිටු දැකීමේ බාලදක්ෂිකා පදක්කම පිරිනැමීමට මෙහි දී තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. එසේම සෑම සේවකයෙකු සතුව තිබිය යුතු තමන්ගේ වෘත්තීය ඉතිහාසය සටහන් කරගත යුතු රැකියා වාර්තාව නම් නව උපදෙස් පොතක් ද මෙහි දී එළිදක්වනු ලැබීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වෘත්තීය සමිතිවල පවතින පුරුෂාධිපත්‍ය අවසන් කළ යුතු බවය.විශාල කාන්තාවන් ප්‍රමාණයක් සාමාජිකත්වය දරන වතු වෘත්තීය සමිති වල ද ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන්නේ නැත. එම නිසා කාන්තාවන්ට වෘත්තීය සමිතිවල ද සාධාරණ නියෝජනයක් ලබා දීම සඳහා පවතින අණ පනත් යථාවත් කළ යුතුයි.


එසේම මේ රටේ දේශපාලනයේ තවමත් කාන්තාව සිටින්නේ පිරිමියාට පිටුපසින්. පළාත් පාලන ආයතන වල 25% ක කාන්තා නියෝජනය අනිවාර්ය කළ යුතු බවට යෝජනාව ව්‍යවස්ථාවට ඇතුලත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ වගේම වත්මන් රජයේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පාර්ලිමේන්තුවේත් පළාත් සභාවලත් අනිවාර්යෙන්ම 25% කාන්තා සභික නියෝජනයක් තිබිය බවට යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන එන බව අමාත්‍ය නිමල් සිරිපාල මහතා මෙහි දී පැවසීය.

මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල ශ්‍රම දායකත්වයක් ලබාදෙන වතු කම්කරු ජනතාවට වැඩබිමක තිබිය යුතු අවම පහසුකම් එම වැඩ කරන ජනතාවට ලබාදීමට සුරක්ෂිත කරදීමටත් මේ වසරේ දී කම්කරු දෙපාර්තමේන්තුව විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.


එසේම අපේ රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන සාධකයක් වන එම විදේශ රැකියාවල නියුතු කාන්තාවන් සූරා කෑමට ඉඩ දිය නැති බවත්, ඔවුන්ට ශක්තිමත් රක්ෂණ ආවරණ ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසීය .

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යශයේ ලේකම් මාපා පතිරණ මහතා කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද ලෝක කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සිම්රින් සිං මහත්මිය ද බාලදක්ෂිකා කොමසාරිස් සුලාරි ජයවර්ධන මහත්මිය ද එක් වූහ.