SLT-MOBITEL, කොළඹ මහ නගර සභාව හා එක්ව කොවිඩ්-19 එන්නත්කරණය සඳහා ඩිජිටල් ලියාපදිංචි කිරීම අරඹයි

ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL, කොළඹ මහ නගර සභාවේ තොරතුරු තාක්ෂණ අංශය හා එක්ව මොබිටෙල් eChannelling ඔස්සේ කොවිඩ්-19 එන්නත්කරණය සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නවතම වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. මෙහි පළමු අදියරේදී වයස අවුරුදු 60ට වැඩි, කොළඹ මහ නගර සභා බල සීමාවේ වෙසෙන වැඩිහිටියන්ට මෙම සේවාව නොමිලයේ ලබාගත හැක.


”ශ්‍රී ලාංකිකයින් නවීන තාක්ෂණයෙන් සවිබලගැන්වීමට කැපවී සිටින අප සමාගම, කොළඹ මහ නගර සභාවත් සමඟ අත්වැල් බැඳගනිමින් මෙම නවතම වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව අපි මහත් සතුටට පත්ව සිටිමු. විශේෂයෙන්ම කොවිඩ් මර්දන ජාතික සටන හා බැඳුණු මෙවැනි වැඩසටහන් සඳහා අපි ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදෙනවා. පළමු අදියරේදී මෙම සේවාව කොළඹ නගරයට පමණක් සීමා වුණත්, එන්නත්කරණ ක්‍රියාවලියේ ව්‍යාප්තියත් සමඟ නුදුරේදීම මෙය දිවයින පුරා ව්‍යාප්ත සේවාවක් ලෙස හඳුන්වාදීමට අපි කටයුතු සිදුකරනවා”, යනුවෙන් මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා ප්‍රකාශ කළේය.


වයස අවුරුදු 60ට වැඩි ඕනෑම වැඩිහිටියෙකු මෙම සේවාව ලබාගැනීමට කළ යුත්තේ www.echannelling.com හෝ www.colombo.mc.gov.lk යන වෙබ් අඩවිවලින් එකකට පිවිස හෝ eChannelling මොබයිල් ඇප් (Mobile App) එක හරහා ‘COVID Vaccination’ බොත්තම එබීම පමණි.

ඒ සමඟ තමන්ට ආසන්නයේ පිහිටා ඇති කොවිඩ්-19 එන්නත්කරණ මධ්‍යස්ථාන පිළිබඳ දැනුවත් වීමේ හැකියාව ඔවුන්ට උදා වේ.


ඉන් අනතුරුව තමන් කැමති එන්නත්කරණ මධ්‍යස්ථානයක් හා සුදුසු වේලාවක් තෝරාගත හැක. ඉන්පසු තම නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ ජංගම දුරකථන අංකය ඇතුළත් කර අදාළ වේලාව වෙන්කරවා ගත හැක. එසේ වෙන්කරවා ගැනීමේදී පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා ජංගම දුරකථනයට OTP කේතයක් ද ලැබෙනු ඇත. එම අංකය ද ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ වෙන් කරවාගැනීම තහවුරු කරමින් කෙටි පණිවුඩයක් සහ විද්‍යුත් ලදුපතක් ද නිකුත් කෙරේ.
පහත සඳහන් ස්ථානවලදී එන්නත්කරණයට වේලාවක් වෙන්කරගත හැක.

• සෞඛ්‍ය නිලධාරී කාර්යාලය දිස්‍ත්‍රික් 01 හා නිව් බසාර් මාතෘ නිවාස පරිශ්‍රය – අංක 200, සිරිමාවෝ බණ්ඩාරනාරයක මාවත, කොළඹ 14.
දුරකථන – 2336625

• සෞඛ්‍ය නිලධාරී කාර්යාලය දිස්‍ත්‍රික් 2A – ජින්තුපිටිය – අංක 27, විවේකානන්ද පාර, කොළඹ 13.
දුරකථන – 2446342

• සෞඛ්‍ය නිලධාරී කාර්යාලය දිස්‍ත්‍රික් 2B – ෆෝබ්ස් පටුමග MCH සෙන්ටර්, 73/12, ෆෝබ්ස් ලේන් (ආර්නෝල්ඩ් රත්නායක මාවත), කොළඹ 10.
දුරකථන – 2689833

• සෞඛ්‍ය නිලධාරී කාර්යාලය දිස්‍ත්‍රික් 3 – කැම්බෙල් පාක් ක්‍රීඩාපිටිය.
දුරකථන – 2691826

• සෞඛ්‍ය නිලධාරී කාර්යාලය දිස්‍ත්‍රික් 4 – අංක 75, කිරුළ පාර, කොළඹ 5.
දුරකථන – 2582037

• සෞඛ්‍ය නිලධාරී කාර්යාලය දිස්‍ත්‍රික් 5 – අංක 40, මැනිං පෙදෙස, වැල්ලවත්ත.
දුරකථන – 2588223