ඩිජිටල් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරයි

ඩිජිටල් තාක්ෂණයන් තුළින් අධ්‍යාපනයේ සමානාත්මතාවය ඇතිකළ හැකිබවත් ඒ සදහා අවශ්‍ය අන්තර්ජාල සබදතා ඒවායේ ධාරිතාව අධ්‍යාපන අන්තර්ගතයන් වැනි ගැටළු වර්තමානයේදී පාසල් අධ්‍යාපනයේ නව බාධක ලෙස හඳුනාගෙන ඇති අතර එය ඉතා ඉක්මනින්ම විසදන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා තිරසාර ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ දෙදින වැඩමුළු මාලාවේ පලමුවැන්න අමතමින් ඔහු මේ බව ප්‍රකාශකරන ලදී.

මෙම වැඩමුළුවේ මුලික අරමුණ වූයේ පුළුල් ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා දායක විය හැකි අදාළ සියලු පාර්ශවකරුවන් එක් කිරීමයි . එමෙන්ම පාසල් අධ්‍යාපනය , වෘත්තීය සහ උසස් අධ්‍යාපන අංශ සඳහා අවශ්‍ය ප්‍රධාන සැලසුම් පිළිබඳ ප්‍රධාන මාර්ගෝපදේශ සකස් කිරීමයි. ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM), තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS), ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිපුණතා කවුන්සිලය ඇතුළු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආශ්‍රිත ආයතනවල ඉහළ පෙළේ නියෝජිතයෝ ඊට සහභාගී වූහ. නිරීක්ෂණ සහ අදහස් ඉදිරිපත් කිරීමට සෑම කෙනෙකුටම සමාන අවස්ථාවක් ලබා දෙමින් සහභාගීත්ව ආකාරයකින් එම කටයුතු සංවිධානය කර තිබුණි.

ඩිජිටල් මාර්ග සිතියමක් සැකසීම සඳහා අතීතයේ දී විවිධ උත්සාහයන් පැවතුනද, “සෞභාග්‍යයේ දැක්ම තුලින් දක්වා ඇති ජාතික ක්‍රියාවලියට සමගාමිව පුළුල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට සියලු ප්‍රධාන අධ්‍යාපන ක්ෂේත්‍රයන් එක් වූ පළමු අවස්ථාව මෙය විය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු මහින්ද බී. හේරත් මහතා රජයේ සමස්ත ඩිජිටල් සන්වර්තන සැලසුම ඉදිරිපත් කළ අතර එය ක්‍රියාවට නැගීම සදහා ගෙන ඇති පියවරයන්ද විස්තරාත්මකව පැහැදිලි කළේය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් මහතා අදහස් දක්වමින් මෙම සන්වර්තන ක්‍රියාවලියේ ප්‍රධාන කුළුණක් වූ ජාතික ඩිජිටල් ආර්ථික උපාය මාර්ග සාක්ෂාත් කර ගැනීමට මෙම උත්සාහය දායක වන්නේ කෙසේද යන්න පැහැදිලි කරන ලදී .

අධ්‍යාපනය ඩිජිටල්කරණයට සහාය වීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය අවශ්‍යම සාධකයකි. ඒ සදහා ,විදුලි සංදේශ සැපයුම්කරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවක්‍රියාවට නැගීමට බලාපොරොත්තු වන සැලසුම් එහි අධ්‍යක්ෂ ජනරාල් ඔසද සේනානායක මහතා විසින් පැහැදිලි කරන ලදී .

පාසල්වලට ෆයිබර් සහ 4 ජී සම්බන්ධතාවය සැපයීම , බෙදා හැරීම සහ පරිභෝජනය සදහා ක්ෂණික පහසුකම් සැපයීමේදී මූල්‍ය ප්‍රතිලාභ නොලැබුණත් මෙය ජාතික ප්‍රමුඛ කාර්යභාරයක් ලෙස හදුනාගනිමින් එය සිදුකරන බව ට පොරොන්දුවිය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නීල් ගුණදාස සහ අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන තත්ත්ව සංවර්ධනය පිළිබඳ අතිරේක ලේකම් එච්. යූ. ප්‍රේමතිලක මහතා ද ඒකාබද්ධ ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබීමේ අවශ්‍යතාව ඉස්මතු කළේය. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහතා අදහස් දක්වමින් ප්‍රකාශකලේ අනාගතයට ගැලපෙන ලෙස තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය මාලාව සකස්කිරීම අදාළ පාර්ශව එක්කරගනිමින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමග එක්ව සිදුකරන බවයි.

කර්මාන්ත නියෝජිතයින් වන දමිත් හෙට්ටිහෙවා (සභාපති-සීඑස්එස්එල්), අබ්බාස් කම්රුදීන් (සභාපති – ෆිටිස්), චින්තක විජේවික්‍රම (ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිපුණතා කවුන්සිලයේ සභාපති) සහ ස්ලැස්කොම් මණ්ඩලයේ නියෝජිතයින් මෙහිදී ඩිජිටල් අධ්‍යාපනය ලබා ගැනීමේ ප්‍රයත්නයන් සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වූහ.

තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ අපනයන අදායම ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් කරා ලගාවීම හා ලක්ෂ තුනක 300,000 තාක්ෂණ ශ්‍රම බලකායක් සෑදීම සඳහා අවශ්‍ය දායකත්වයක් මින් සපයනු ඇත.

සිසුන්, ගුරුවරුන්, පරිපාලකයින් ඇතුළු සමස්ත පරිසර පද්ධතියේම ධාරිතාව ඉහළ නැංවීමේ වැදගත්කම යළිත් අවධාරණය කරන වැඩමුළුවේ ඒකාබද්ධ පහසුකම් සපයන්නා වන තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ යෝජිතායතනය, පෙන්නදෙන්නේ එහි වඩාත්ම වැදගත් දෙය වන්නේ , ශිෂ්‍යයින්ට සෘජුවම පහසුකම් සපයන දෙමාපියන් අතර දැනුවත්භාවය ඇති කිරීමයි.එමෙන්ම අපේක්ෂිත ප්‍රතිපත්තියේ අරමුණකරා යාමේදී පොදුවේ මුහුණ දෙන ප්‍රධාන ගැටළු හඳුනා ගැනීමයි.

සැසිවාරය අවසන් කරමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මානව සම්පත් හා ධාරිතා වර්ධන අධ්‍යක්ෂ සමීර ජයවර්ධන මහතා අවධාරණය කළේ ජාතික ඩිජිටල් සන්වර්තන න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සදහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු ප්‍රධාන රාජ්‍ය ආයතන සමඟඑක්ව ඉදිරියට යාම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අඛණ්ඩව පහසුකම් සපයනු ඇති බවයි.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ, අධ්‍යක්‍ෂ ජනරාල් ජනක ජයලත් , ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, කොළොඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපන අංශයේ මහාචාර්ය හේවාගමගේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ ප්‍රධානි ආචාර්ය නාලක ලංකාසේන මහතා ද මෙම සාකච්ඡා සඳහා ක්‍රියාකාරීව දායක වුහ .