මාධ්‍යවේදීන්ට සහන මිලට භාණ්ඩ ගන්න කාඩ්පතක් ලබාදෙයි

මාධ්‍යවේදීන් සඳහා සහනදායි මිලට පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා වන  වට්ටම් කාඩ්පතක්  හඳුන්වාදීම ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක  ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කෙරුණි.

“කොළඹ ව්‍යාපාරික සංසදය” හා  “අත් වැල” පදනම ජනමාධ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙය සංවිධානය කරනු ලැබිය.

ව්‍යාපාරික ආයතන 500 ක පමණ ප්‍රමාණයක  භාණ්ඩ සඳහා විවිධ මට්ටමේ  වට්ටම් ඇතුළත්  කාඩ් පතක් මේ මේ අනුව මාධ්‍යවේදීන්ට ලබාදීම සිදු කෙරේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි මෙන්ම එම හැදුනුම්පත හිමි සියලු මාධ්‍යවේදීන්ට මෙම වට්ටම් කාඩ් පත ලබාදෙන අතර ඊයේ නිල වශයෙන්   විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන කිහිපයකින්  තෝරාගෙනුණු මාධ්‍යවේදීන් දොළොස් දෙනකු සඳහා එම කාඩ්පත ලබාදීම අමාත්‍ය රඹුක්වැල්ල මහතා අතින් සිදු කෙරිණි.

ජනමාධ්‍යවේදීන් සඳහා උපකරණ ලබා ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින්  සහනදායි පොලියකට  ණය ක්‍රමයක් හඳුන්වා දීමද මෙහිදී සිදුවිය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය  මහතා අමාත්‍යවරයා වෙත මෙය නිල වශයෙන් ඊයේ හඳුන්වා දෙනු ලැබීය.

මෙයට අමතරව මාධ්‍යවේදීන් සඳහා මෙන්ම ඔවුන්ගේ පවුල් වල පිරිස් සඳහා සුළු පරිමාණ ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා ණය ක්‍රමයක්ද හඳුන්වා දෙන බව  එම බැංකුවේ සභාපති  මහින්ද සාලිය මහතා පෙන්වා දෙයි.