යුනිලිවර් ශ්‍රී ලංකා Viber සමඟ එක්ව uStore.lk ඔන්ලයින් වෙළෙඳපොල තව දුරටත් පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන සමාගම වන යුනිලිවර් ශ්‍රී ලංකා තම ඔන්ලයින් අලෙවි සේවාව වන uStore.lk, ක්ෂණික ඇමතුම් සේවාවක් වන Viber වෙත ගෙන ගිය බව පසුගියදා නිවේදනය කරන ලදී. මේ වන තෙක් යුනිලිවර් ශ්‍රී ලංකාහි නිල අන්තර්ජාල වෙළෙඳපොල වන www.ustore.lk වෙතින් පමණක් ලබා දෙනු ලැබූ මෙම සේවාව Viber වෙත හඳුන්වා දීමත් සමඟ පාරිභෝගිකයන් හට තමන්ට අවශ්‍ය යුනිලිවර් නිෂ්පාදන ඉතා පහසුවෙන් හා ආරක්ෂිතව මිලදී ගැනීමේ වැඩි අවස්ථාවක් හිමිවනු ඇත.

2019 වසරේදී ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ www.ustore.lk සේවාව පාරිභෝගිකයන් වඩාත් ප්‍රිය කරන සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස සුවිසල් පිළිගැනීමකට ලක්ව ඇත. ඒ නිසාම ඒ වෙනුවෙන් යොමු වූ පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් ඔවුන්ට වඩා පහසුවෙන් යුනිලිවර් භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව හිමිකර දීම වෙනුවෙන් Viber ජාලය තුළද මෙම සේවා දියත් කිරීමට යුනිලිවර් කටයුතු කරන ලදී. විශේෂයෙන් ඕනෑම අයෙකුටම පහසුවෙන් පරිශීලනය කළ හැකි ආකාරයකින් නිර්මාණය කර ඇති uStore.lk පාරිභෝගිකයන්ට රිසි පරිදි ඔන්ලයින් වෙළෙඳපොල තුළ සැරිසරමින් ඕනෑම යුනිලිවර් නිෂ්පාදනයක් මිලදී ගැනීමේ අවකාශ සළසා දී ඇත.

එහිදී රූපලාවන්‍ය, සම ආරක්ෂණ, ළදරු ආරක්ෂණ, ගෘහ ආරක්ෂණ, මුඛ සෞඛ්‍ය සඳහා වන නිෂ්පාදන, ඇඳුම් පිරිසිදු කිරීම, සහ ආහාර පාන වැනි ඕනෑම ක්ෂේත්‍රයක නිෂ්පාදන නිවසේ සිටම මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයන් වෙත සළසා දී ඇත. එසේම මේ හරහා යුනිලිවර් විසින් හඳුන්වාදෙනු ලැබූ පියුරිට් නිෂ්පාදන මිලදී ගැනීමටද පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවන අතර ඒ සියලු අවස්ථාවන්හිදී ආකර්ෂණීය වට්ටම් හා වෙනත් ප්‍රවර්ධන ප්‍රතිලාභයන් හිමි කර ගැනීමටද ඔවුන්ට අවකාශ සැළසේ. මෙහි ඇති වැදගත්ම දේ නම් යුනිලිවර් ශ්‍රී ලංකාහි සියලුම නිෂ්පාදනයන් මෙන්ම තෝරාගත් ජාත්‍යන්තර යුනිලිවර් සන්නාමයන් රැසක් එකම ස්ථානයකදී පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව සළසා දී තිබීමයි.

පාරිභෝගිකයන් හට තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනය ඔස්සේ Viber දුරකතන යෙදුම වෙත පිවිස uStore.lk සමඟ එක්වීමෙන්ම මෙම අසමසම සාප්පු සවාරි අත්දැකීම පහසුවෙන් භුක්ති විඳිය හැකිය. uStore.lk වෙත පිවිසීමෙන් පසු තමන්ට අවශ්‍ය නිෂ්පාදන තෝරා ගෙන ඒවා එකතු කර ගැනීමෙන් අනතුරුව එම නිෂ්පාදන ලබා දිය යුතු ලිපිනය නිවැරදිව සඳහන් කළ යුතුය. පසුව එය නිසි පරිදි පරීක්ෂා කර බලා තමන් ඇනවුම් කළ සියලු නිෂ්පාදනයන් පාරිභෝගිකයාගේ නිවසටම ගෙන එනු ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකාහි පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂ අරුණ මාවිල්මඩ මහතා සඳහන් කර සිටියේ “මේ වන විට යුනිලිවර් සතුව ඍජුවම නිෂපාදන අලෙවි කරනු ලබන අලෙවිසැල් 100,000 ක් පමණ සක්‍රියව ක්‍රියාත්මක වුවත් 300කට අධික අපගේ යුනිලිවර් නිෂ්පාදනයන් පාරිභෝගිකයන් හට පහසුවෙන් ලබා ගත හැකි මාර්ගයන් නිර්මාණය කිරීම සඳහා අප නිරන්තරයෙන් කටයුතු කළා. මෙහිදී විශේෂයෙන් වර්තමානයේ රට තුළ පවතින වසංගත තත්වය හමුවේ සාමාන්‍ය පරිදි පාරිභෝගිකයාට වෙළෙඳපොලට ගොස් භාණ්ඩ මිලදී ගැනීමේදී මුහුණ දීමට සිදුවන අවදානම් තත්වය සහ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් නව වෙළෙඳපොළ ක්‍රමයන් හඳුන්වා දීමේ වැදගත්කම පිළිබඳව අපගේ අවධානය යොමු වුණා. ඒ සඳහා නව්‍ය වෙළෙඳපොලක් ලෙස ජංගම දුරකතනය හරහා ක්ෂණික පණිවිඩ සේවාවකින් තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගනිමින් සුවිශේෂී ප්‍රතිලාභ සහ පහසුකම් අත්විඳීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙත ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. වසර 83ක කාලයක් තිස්සේ මෙරට පාරිභෝගික හදවත් තුළ නොමැකෙන විශ්වාසයක් සනිටුහන් කර ඇති අපගේ නිෂ්පාදන හා සේවාවන් හරහා පාරිභෝගික අවශ්‍යතා මත නවෝත්පාදන විසඳුම් ලබා දීමට නිරන්තරයෙන් කැපවී සිටින බවද මෙහිදී සඳහන් කළ යුතුයි.’ යනුවෙනි.

Rakuten Viber හි ආසියානු පැසිෆික් කාලාපීය ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් ටීස් මහතා මෙහිදී අදහස් දක්වමින් “අපගේ පරිශීලකයන් වෙත කරදරයකින් තොරව සුවිශේෂී සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් විශ්වාසදායී මෙන්ම ඉහළ පිළිගැනීමක් ඇති වෙළෙඳනාම සමඟ එක්ව නව තාක්ෂණික අදහස් හඳුන්වා දීමට මෙන්ම එවා ගවේෂණය කිරීමට අපි අඛණ්ඩව කටයුතු කරමින් සිටිනවා. යුනිලිවර් සමඟ ඇති කරගනු ලැබූ අපගේ සහයෝගීතාවය තුළින් අපගේ පරිශීලකයන් සවිබල ගැන්වීමට මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට මාර්ගගත සහ මාර්ගගත නොවන විවිධ පරිසරයන් හා සම්බන්ධ වීමට අවශ්‍ය පහසුව සළසා දී තිබෙනවා”. යනුවෙන් පවසා සිටින ලදී.