SLT-MOBITEL, තොරතුරු තාක්ෂණ හා දුරකථන සන්නිවේදන අධ්‍යාපනයේ නිම්වළලු පුළුල් කරයි

‘ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL’, දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ අනාගත පරපුර ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා පිරිනැමීමෙහිලා ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් සිටියි. ඒ අනුව විශේෂීකරණය වූ අධ්‍යාපන ආයතනයක් ලෙස ඉතාමත් දියුණු මට්ටමකට පිවිසීමට, ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය හෙවත් SLTTC සමත්ව තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යමණ්ඩලයේ කුසලතා නැංවීම වෙනුවෙන් ආරම්භ කෙරුණු SLTTC, මේ වනවිට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවන තරුණ වෘත්තිය අපේක්ෂකයින්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදෙන ප්‍රමුඛ ආයතනයක් බවට වර්ධනය වී තිබීම කැපීපෙනේ. ආරම්භක අවධියේදී දුරකථන සන්නිවේදනයේ උපාධි මට්ටම දක්වා ඉගෙනීමට ආධාරක වන ඉංජිනේරු පාඨමාලා මෙහිදී පිරිනැමුණු අතර, මේ වනවිට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයට පිවිසෙන ඕනෑම අයෙකුට වැදගත් පුළුල් විෂය පරාසයක පාඨමාලා එමඟින් හඳුන්වා දී ඇත.

මෙසේ අධ්‍යයන පාඨමාලා පිරිනැමීමේදී එක්සත් රාජධානියේ Hertfordshire සරසවිය (විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවේදය, ඉලෙක්ට්‍රොනික් හා සන්නිවේදන ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික් සහ පරිගණක ඉංජිනේරු විෂය ධාරාවන්ට අදාළ ගෞරව උපාධි පාඨමාලා) සහ Pearson BTEC (පරිගණක හා විද්‍යුත්/ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උසස් ජාතික ඩිප්ලෝමා) වැනි ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන ආයතන සමඟ සහයෝගීතාවන්ට ද එළඹ තිබේ.

මේ අනුව ව්‍යවහාරික තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව (CAIT), සබඳතා මධ්‍යස්ථාන වෘත්තීය උසස් සහතික පත්‍ර පාඨමාලාව (CCP), දත්ත සන්නිවේදන (CCNA), Optical Fibre, බලශක්ති හා වායුසමීකරණ, සම්ප්‍රේෂණ හා දුරකථන සන්නිවේදන තාක්ෂණ ශිල්පි NVQ 3/ 4 මට්ටම යනාදී පාඨමාලා SLTTC හිදී තෝරාගත හැක. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරටදීම ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් හිමිකරගැනීමටත්, විදේශ අධ්‍යාපනයට වැයවන විශාල මුදලක් ඉතිරි කරගැනීමටත් හැකියාව පවතී. නිදසුනක් ලෙස එක්සත් රාජධානිය තුළ වසර 3ක උපාධියක් හැදෑරීමට, පන්ති ගාස්තු වශයෙන් පමණක් රු. ලක්ෂ 70ක් පමණ වැයවන අතර, SLTTC හිදී එයට වැයවන මුදල රු. ලක්ෂ 16ක් පමණක් වේ.

මෙම පාඨමාලා සාර්ථකව නිම කිරීමෙන් පසු IET සාමාජිකත්වය ලබාගැනීමේ අවස්ථාව ද සිසුන්ට උදා වේ. තව ද B.Eng. උපාධියක් සාර්ථකව නිම කරන සිසුන්ට තම ක්ෂේත්‍රයට අදාළ පශ්චාත් උපාධියක් (MSc හෝ MBA) ද, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව වැනි රටවලදී සම්පූර්ණ කළ හැක. එක්සත් රාජධානියේදී උපාධිය ලබාගන්නා සිසුන්ට උපාධියෙන් අනතුරුව වසර 2ක් එරට රැකියාව කිරීමේ අවස්ථාව ද හිමි වේ.

මේ අතර 2019 සහ 2020 වසරවල අඛණ්ඩව ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතුරින් පළමු පන්තියේ සාමාර්ථ ලැබූ උපාධිධාරීන් 10 දෙනෙකු බිහිකිරීමට හැකිවීම SLTTC ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. එවන් සාර්ථකත්වයක් අත්කරගැනීම අතිශය දුෂ්කර ඉලක්කයක් වන නමුදු, එය ඉතා පහසුවෙන් ළඟාකරගැනීමට ආයතනය සමත්ව තිබේ. එහිදී දේශකයින් ලෙස සහභාගී වන දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් පරිචයකින් යුත් විද්වත් මණ්ඩලය ද සිහිපත් කළ යුතුය. දේශක මණ්ඩලයේ බොහෝ දෙනෙක් SLT-MOBITEL හි සේවය කරන නිලධාරීන් බැවින්, ශිෂ්‍යයින්ට ලැබෙන ප්‍රායෝගික දැනුම අති විශාල ය. ඒ හරහා සිසුන්ට ද මූලික අත්දැකීම් සමඟ වටිනා ඉගෙනුම් අවස්ථාවක් අත්කරගැනීමට හැකිවී ඇත.

ඊට අමතරව දේශක මණ්ඩලය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සිසුන්ට තිබීම ද ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වී තිිබේ. එමෙන්ම සිසුන්ට SLT-MOBITEL හරහා සේවාස්ථ පුහුණු අවස්ථා හිමිවන බැවින් තමන් හදාරන ක්ෂේත්‍රයට අදාළ ප්‍රායෝගික දැනුම ලබාගැනීම ඉතා පහසු ය. තව ද ඔවුන්ට හිමිවන ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය සුදුසුකම් සමඟ සාර්ථක වෘත්තීය ජීවිත හිමිකරගැනීමට ද බොහෝ උපාධිධාරීන් සමත් වී ඇත.

මෙරට තෘතීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ SLTTC ඉටුකරමින් සිටින භූමිකාව පිළිබඳ අදහස් දක්වමින්, ශ්‍රී ලංකා ටෙලිකොම් දක්ෂතා සංවර්ධන අංශයේ සාමාන්‍යාධිකාරී ජනක සිල්වා මහතා මෙසේ පැවසීය. ”ගෙවුණු වසර ගණනාව මුළුල්ලේ තොරතුරු තාක්ෂණ හා දුරකථන සන්නිවේදන අංශය තුළ උසස්ම තලයේ අධ්‍යාපන සේවා සැපයීමට SLTTC සමත් වී තිබෙනවා. SLT-MOBITEL හි පුහුණු අංශය වශයෙන් ශක්තිමත් පදනමක් SLTTC සතුයි. එම නිසා සිසුන්ට ඉගෙනුම ලබන කාලය අතරතුර, හොඳම මට්ටමේ උසස් අධ්‍යාපනයක් හා පුහුණුවක් ලබාගත හැකියි. ඒ වගේම අප සතු පහසුකම්, කෙටි සහ උපාධි මට්ටමේ පාඨමාලා මෙන්ම කර්මාන්තය තුළ ප්‍රවීණයින්ට පහසුවෙන් ප්‍රවේශ වෙමින් දැනුම ලබාගැනීමට ඇති හැකියාව නිසා, SLTTC සිසුන්ට විශ්වාසයෙන් යුතුව දෙස් විදෙස් රැකියා අවස්ථාවලට පිවිසීමට පුළුවන්”.

වැලිසර, මොරටුව සහ මහනුවර යන ස්ථානවල SLTTC ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටා තිබේ. රසායනාගාර පහසුකම්, අංග සම්පූර්ණ තාක්ෂණානුබද්ධ පන්ති කාමර, ශ්‍රවණාගාර, විවේකාගාර පහසුකම්, නේවාසිකාගාර, පුස්තකාල සහ ආපනශාලා ආදී පහසුකම් රැසක් ඒවායේ අඩංගු වේ. එමෙන්ම සිසුන්ට සහභාගී විය හැකි විෂය බාහිර ක්‍රියාකාරකම් රාශියක් ද පවතී.