හොර පාරෙන් ගෙන්වූ රුපියල් බිලියන 9 කට අධික වටිනා විදේශීය දුම්වැටි තොගයක් අල්ලයි

අන්තරාල වෙළෙදාම යටතේ අපනයනය කරන මුවාවෙන් මෙරටට ආනයනය කරන ලද රුපියල් බිලියන 09කට අධික වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුවේ අනුගතවීමේ සහ පහසුකම් සැලසීමේ අංශයේ නිලධාරීන් විසින් අද (13වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලද විශාලතම දුම්වැටි තොගය බවත්, මෙම දුම්වැටි තොගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට ආනයනය කර ඇති අතර හාලුම් 21ක විදේශීය නිෂ්පාදිත දුම්වැටි මිලියන 200ක් පමණ තිබූ බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවිප්‍රිය මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් විදේශීය දුම්වැටි තොගය රේගු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කරන අයුරු

මෙම දුම්වැටි තොගය  සිලෝන් බ්ලැක් ටී නමින් නෙදර්ලන්තය, ජර්මනිය, එක්සත් රාජධානිය වැනි රටවල්වලට නැවත ප්‍රතිඅපනයනය කීරීමට සැලසුමක් තිබී ඇති බවත් ඒ සදහා ව්‍යාජ නැව්භාර පත්‍රයක් පවා සකස් කර තිබූ බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා කියා සිටියේය.

මීට සම්බන්ධ ජාවාරම් කරුවන් විසින් ව්‍යාජ තොරතුරු සකස් කර බහාලුම් 12ක් බෙල්ජියම, නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ බංග්ලාදේශය යන රටවල්වලට යවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් එම රටවලට අදාල ආනයනකරුවන් ගෙන් විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ එම ආනයන ඔවුන් විසින් සිදු කර නොමැති බවයි.

ඒ අනුව මෙය ජාත්‍යන්තර ජාවාරමක එක් පුරුකක්ද යන්න සොයා බැලීමට ශ්‍රී ලංකා රේගුව එම රටවල රේගු ආයතන හා ජාත්‍යන්තර රේගු සංවිධානය සමග එක්ව විමර්ශන කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් රවිප්‍රිය මහතා සදහන් කලේය.

මේ පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී වී රවිප්‍රිය මහතාගේ මගපෙන්වීම යටතේ රේගු අධ්‍යක්ෂ හර්ෂ ජයතිලක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ වරුන් වන දප්පුල ආරෙවත්ත, විජේරත්න බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත රේගු අධිකාරීවරුන් වන සංජය රවීන්ද්‍ර, ලාල් වීරකෝන්, යූ. ඩී. එම්.   ඒ. දීපානි, නියෝජ්‍ය රේගු අධිකාරී මංජුල ප්‍රසාද්, සහකාර රේගු අධිකාරීවරුන් වන ප්‍රවීන් ඉන්ද්‍රනාම, අමිල සංජීව, සම්මාන සමරසේකර, භාතිය කුමාරසිරි, එස්. මද්දුමගේ, අවිදු රාජපක්ෂ යන මහත්ම, මහත්මීන් විසින් සිදු කරනු ලබයි.