සම්පත් බැංකුව යළිත් ශ්‍රී ලාංකේය බැංකු අතර වඩාත් ජනාදරයට පත් බැංකුව බවට වෙයි

සම්පත් බැංකුව, LMD හි 2021 වාර්ෂික ප්‍රකාශනයට අනුව නැවත වරක් ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් වෙළෙඳනාම’ 10 අතරට පැමිණ ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. Media Services සමඟ Brand Finance එක්ව ආයතනයන්හි කාර්ය සාධනය හා ජයග්‍රහණයන් පුළුල් ලෙස විමර්ශනයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ හොඳම වෙළෙඳ නාමයන් ප්‍රකාශයට පත් කරනු ලබයි.

2021 වසරේ එම ශ්‍රේණිගත කිරීම් අනුව සම්පත් බැංකුව ‘වඩාත් ජනාදරයට පත් වෙළෙඳනාම’ කාණ්ඩයේ 10 වන ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ FMCG දැවැන්තයින් අතරට එක් වුණු එකම ශ්‍රී ලාංකේය බැංකුව ලෙස සිය අභිමානය යළිත් තහවුරු කරමිනි. එසේම සිය අද්විතීය බැංකුකරණයේ විශිෂ්ටත්වය තුළින් 2021 වසර සඳහා වන වටිනාම වෙළෙඳ නාම (Most Valuable Brands’) 10 අතරට එක් වීමටද සම්පත් බැංකුව සමත්ව ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මෙහෙයුම්/ සමූහ ප්‍රධාන අලෙවි නිළධාරී තාරක රන්වල මහතා “නිරන්තරයෙන් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් නව්‍යකරණ බැංකු සේවාවන් තුළින් ඔවුන්ගේ ජීවිතවලට වැඩි වටිනාකමක් එක් කිරීම සඳහා වන සම්පත් බැංකුවේ කැපවීම නිසාම ඉතා අභියෝගාත්මක වසරකදී වුවත් ‘වඩාත් ජනාදරයට පත් වෙළෙඳනාම’ලැයිස්තුවේ ස්ථාන 3ක් ඉදිරියට පැමිණීමට අපට හැකි වී තිබෙනවා. අපගේ උත්සාහයන්ගේ හා කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසත්, බැංකු නව්‍යකරණයට අප දරන නිරන්තර උත්සාහයන් නිසාත් සම්පත් බැංකුව මෙවන් ඇගයීමකට ලක් වීම පිළිබඳව ඉතාමත් සතුටුයි. අපගේ වටිනා ගනුදෙනුකරුවන් වෙත වඩා වැඩි සේවාවක් හිමි කර දෙමින් ඉදිරියට යාමට මෙම ඇගයීම සුවිසල් ශක්තියක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් පැවසීය.

සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් වසර 33ක් වැනි කෙටි කාලයක් තුළ වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය සහ Block chain තාක්ෂණය භාවිත කිරීමේ ආරම්භය ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව සාම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.