පෝට්සිටි වෙතින් කොළඹ මහනගර සභාවට ලැප්ටොප් පරිගණක 20 ක් ලබාදෙයි

කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ COVID-19 එන්නත්කරණ මධ්‍යස්ථාන වල භාවිතය සඳහා ලැප්ටොප් පරිගණක 20 ක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය (Port City Colombo) පසුගියදා කටයුතු කළේ ය.

සී.එච්.ඊ.සී. පෝට් සිටි කලම්බු (CHEC Port City Colombo) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හවුලියැං මහතා විසින්, පසුගිය 17 වන දා, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය වෙත මෙම ලැප්ටොප් පරිගණක තොගය මහනගර සභා පරිශ්‍රයේදී භාරදෙන ලදි.

මුළු රටම COVID-19 වසංගතයට එරෙහිව සටන් වදිමින් සිටින අවස්ථාවක ඊට සහය වෙමින් කොළඹ වරාය නගරය විසින් සිදුකරන ලද මෙම පරිත්‍යාගය නගරාධිපතිනියගේ නොමඳ ප්‍රශංසාවට ලක්විය. ඇය පෙන්වා දුන්නේ මෙම ලැප්ටොප් පරිගණක, එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින නිලධාරීන්ගේ රාජකාරි සඳහා අත්‍යවශ්‍ය උපාංගයක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජියැං හවුලියැං මහතා, පසුගිය අප්‍රේල් මාසයේදී කොළඹ වරාය නගරයේ ශ්‍රී ලාංකික හා චීන ජාතික සේවක සේවිකාවන් සඳහා COVID-19 එන්නත ලබාදීමේදී දක්වන ලද සහයෝගය වෙනුවෙන් නගරාධිපතිනියට හා ඇයගේ කාර්ය මණ්ඩලයට සිය ස්තූතිය පළකළේ ය.

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතාද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මේ වනවිට කොළඹ මහනගර සභා බල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි, සයිනෝෆාම් එන්නත භාවිතා කරමින් එන්නත්කරණය සිදුවන බව ඒ මහතා පැවසී ය. එන්නත්කරණ මධ්‍යස්ථාන තුළදී දත්ත එකතු කිරීමේ ක්‍රියාවලිය අතිශය වැදගත් බවත්, මෙම පරිගණක මගින් එම ක්‍රියාවලිය වඩාත් පහසු වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

කොළඹ මහනගර සභා නාගරික කොමසාරිස් රොෂානි දිසානායක, කොළඹ වරාය නගරයේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත්, සහ එහි කළමනාකරු (දේපළ සංවර්ධන) ශාලක විජයරත්න යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ.