2021 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන ප්‍රදානය සදහා අයදුම්පත් භාර ගනියි

සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදන හා නිර්මාණාත්මක නිමැයුම් හා යෙදවුම් ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2021 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන ප්‍රදානය සදහා අයදුම්පත් භාර ගැනේ.

අගෝස්තු මස 15 දා දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කරන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ එකොලස්වන වතාවට වන අතර ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය වාර්ෂිකව මෙය සංවිධානය කරනු ලබයි.

රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය, සංස්කෘතිය සංචාරක ව්‍යාපාරය, සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, ව්‍යාපාර හා වානිජ්‍ය, අන්තර්ග්‍රහනය හා බලගැන්වීම, ඩිජිටල් විනෝදාස්වාදය යන අංශ යටතේ අයදුම්පත් භාර ගැනේ. වයස 26 න් පහල තරුණ තරුණියන් සදහා යොවුන් නවෝත්පාදන තරග අංශයක් හදුන්වා දී තිබේ.

මෙම සම්මාන ප්‍රදානයට පාත්‍රවන නිර්මාණකරුවන්ට අන්තර්ජාතික විශ්ව සමුළු සම්මාන 2021 ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාව උදාවන බවද නියෝජිතායතනය පවසයි.
ඩිජිටල් ශ්‍රී ලංකාවක් සදහා වු ඉදිරි දැක්ම යථාර්තයක් කර ගැනීම මෙහි ජාතික අරමුණයි. ඒ සදහා මානව සම්පත සුදානම් කර ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.

මේ සදහා ඉදිරිපත් කෙරෙන නිර්මාණ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරු මඩුල්ලක් විසින් විනිශ්චය කෙරේ. www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ චිරන්ති 0773337241 නිලාන් 0779603064 දුරකථන අංක ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) තාක්ෂන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකවන රාජ්‍යය ආයතනයකි