දුබලත්වය සවියක් කරගත්තවුන්ගේ පැරාලිම්පික් සිහිනය බලගන්වමු

මෙම අගෝස්තු මාසයේ ටෝකියේ පැරාලිම්පික් තරග බිමේ ලාංකීය නාමය පතුවරවමින් ජයග්‍රහණය කිරීමේ අපේක්ෂා පෙරදැරිව ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු තරග බිමට එළඹීමට නියමිත ය. අති දුෂ්කර කාල වකවානුවක වුවද ඉතා අධිෂ්ඨානශීලී අයුරින් සිය පුහුණුවීම් කාර්යයේ නිරතවෙමින් ලක්මව රනින් සැරසීමට මෙම තරුණ තරුණියන් ගත් වෙහෙස සමස්ත රටක් ජාතිකයක් ලෙස අප ඇගයීමට ලක් කල යුතු කරුණකි. ඒ ඔස්සේ 2012 සහ 2016 වසර තුළදී පැරාලිම්පික් තරගබිමේ රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණය නිසැක වශයෙන් මෙම ක්‍රීඩිකාවන් අත්කර ගනු ඇතැයි අප සැම අපේක්ෂා සහගත දෑසින් බලා සිටිමු.

සිය බාධකයන් නොතකමින් ජයග්‍රහණයම අපේක්ෂා කිරීම මෙන්ම ඒ වෙනුවෙන්ම කැපවීම ක්‍රීඩක ක්‍රිඩිකාවන් සතු සුවිශේෂීම ලක්ෂණයි. මෙම ගුණාංගය මැනවින් මූර්තිමත් කරමින් ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය කාල වකවානුව තුළ සිය ඉසව් තුළින් දැක්වූ දැක් වූ දක්ෂතා ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු අප වෙත ගෙන ඒමට සමත් විය. මෙවර පැරාලිම්පික් සමාරම්භක උළෙලේ දී ශ්‍රී ලාංකීය ධජය රැගෙන යාමේ භාග්‍ය උදාකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2016 වසරේ රියෝ ද ජැනයිරෝ නුවර පැවති පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත විසිනි.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සිය දෛනික පුහුණුවීම් කාර්යයන් සඳහා බාධාවන් පැවතියද, සමස්ත රටේ අප්ක්ෂාවන් ඉහළ නංවමින් සිය අපහසුතාවයන් පවා දෙවැනි කොට තබමින් ඔවුන් සිය පුහුණුවීම් කාර්යයේ නිරතවීම ප්‍රශංසනීය කරුණකි. සිය ස්ථිර අධිෂ්ඨාන ශක්තිය ප්‍රදර්ශනය කරමින් ඔවුන් සිදුකරනු ලැබූ මෙම කැපවීම සමස්ත ලාංකීයයන්ගේ වගේම විශේෂ අවශ්‍යතා සහිත සැමගේ අධිෂ්ඨානය ඉහළ නැංවීමට සමත් සුවිශේෂී කරුණක් බවට පත්ව ඇත.

තවද නිර්මාණය වී ඇති පාරිසරික තත්ත්වය යටතේ වගේම විවිධ හේතූන් මගින් මානසික වශයෙන් පසුබෑමට ලක්ව ඇති සැම, තමන් විසින් තමා වටා නිර්මාණය කරගත් විසල් පවුරු බිද දමමින්, සිය අපේක්ෂාවන් නැවත ඇති කරගනිමින් නැවත සිය ගමන ජයග්‍රාහී අයුරින් ඇරඹීමට මොවුන් සැමගෙන් ලැබී ඇත්තේ ඉමහත් උත්තේජනයකි. තවද තමන්ට හිමි දිවියෙන් එපිට තවත් ලොවක් ඇති බවත්, එය අභියෝගයන් තුළින් ලබාගත යුතු ජයග්‍රහණයක්ය යන සමාජ පණිවිඩය මොවුන් විසින් සමාජයට ප්‍රායෝගික අයුරින් සනාථ කර පෙන්වීම සුවිශේෂී ජාතික කාර්යයකි.

ගෝලීය වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත වූවන් බලගැන්වීමේ කාර්ය වෙනුවෙන් ක්‍රියාත්මක පැරාලිම්පික් තරගාවලියේ ඉතිහාහසය තුළ ලාංකීය නියෝජනය සම්බන්ධයෙන් විමසීමේදී ශ්‍රී ලංකාව පළමු වරට පැරාලිම්පික් තරගාවලියක් සඳහා සහභාගි වෙන්නේ 1996 වසරේදිය. ඉන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම හිමිකර දෙනු ලබන්නේ 2012 වසරේ ලන්ඩන් පැරාලිම්පික් තරගාවලියේදී මීටර් 400 පිරිමි ධාවන තරගය නියෝජනය කරමින් සහභාගී වූ හිටපු යුධ හමුදා සෙබල ප්‍රදීප් සංජය ය. අතක් අහිමි ඔහු එහිදී ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සියලු ආබාධිතයන්ට ශක්තියක්  හා ආදර්ශයක් වෙමිනි. එම ජයග්‍රාහී කිරුළ අඛණ්ඩව ලාංකීය මාතවට තිළිණ කරමින් 2016 වසරේ රියෝ ද ජැනයිරෝ නුවර පැවති පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ පිරිමි තරගයෙන් දිනේෂ් පියන්ත ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට සමත් විය.

මෙවැනි සුවිශේෂී දක්ෂතා සහිත තරගකරුවන්ගේ ඉතිහාසයක වත්මන් නියෝනය වන 2020 ටෝකියෝ පැරාලිම්පික් නියෝජනය කරන ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය දක්ෂතා දැක්වීම වෙනුවෙන්, ජාතික පැරාලිම්පික් කමිටුව සමඟ පවතින දස වසරක සහයෝගීතාවය තවත් ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට මෙවර ද ඉදිරිපත්ව ඇත. මෙයට අමතරව ජාතික පැරාලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා යුධ හමුදා පැරාලිම්පික් ක්‍රීඩා කමිටුව ද සිය අඛණ්ඩ අනුග්‍රාහක දායකත්වය සපයයි.