සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට එස්. එන්. සෙන්තිල්වේල් පත්කරයි

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් (Sarvodaya Development Finance) සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස, කොළඹ කොටස් වෙළඳපොළේ සක්‍රීය ආයෝජකයෙකු වන එස්. එන්. සෙන්තිල්වේල් මහතා පත්කර ඇත.

ඕස්ට්‍රේලියාවේ University of Southern Queensland වෙතින් තම MBA උපාධිය හිමිකරගත් සෙන්තිල්වේල් මහතා ව්‍යාපාර ක්ෂේත්‍රයේ වසර 18 කට අධික පළපුරුද්දක් ඇති ප්‍රවීණ වෘත්තිකයෙකි. මීට පෙර Pan Asia Power PLC හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා, Dollar Corporation හි ප්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කර තිබේ.


සෙන්තිල්වේල් මහතාගේ පත්කිරීම ඔස්සේ සෙන්තිල්වේල් හෝල්ඩින්ස් (පුද්.) සමාගම වෙතින් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම වෙත ඉහළ මට්ටමේ ආයෝජනයක් හිමිවනු ඇති අතර, ඒ අනුව සෙන්තිල්වේල් හෝල්ඩින්ස් සමාගම එහි තෙවන විශාලතම ආයෝජකයා බවට පත්වනු ඇත.


ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම සමාජයීය ව්‍යාපාරයක් වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම රට පුරා ග්‍රාමීය ව්‍යවසායකයන්ට අත්වැලක් වීමට සෑම විටම කටයුතු කරයි. සර්වෝදය ව්‍යාපාරය මේ වනවිට රටේ ගම්මාන 5,000 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන අතර, එහි සේවාදායකයන් සංඛ්‍යාව 175,000 ඉක්මවා ඇත.