මහින්ද්‍රා වෙතින් නවතම Bolero City Pik-Up රථය වෙළෙඳපොළට හඳුන්වා දෙයි

මහින්ද්‍රා වෙතින් හඳුන්වා දෙන නවතම Bolero City Pik-Up රථය දැන් ශ්‍රී ලංකාවේ වැලිපැන්න මහින්ද්‍රා අයිඩියල් ලංකා වැඩබිමෙන් මුල් වරට “ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත” ටොන් 1.4 Pik-Up රථය Mahindra & Mahindra Ltd. (M&M) සහ අයිඩියල් මෝටර්ස් එකමුතුවේ අනුබද්ධිත සමාගමක් වන අයිඩියල් සමූහය විසින් ලංකාවේ නිපදවන ලද නවතම Bolero City Pik-Up රථය අද දින මෙරට වෙළඳපොළ වෙත හඳුන්වා දෙන ලදී.

 
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද සහභාගී වූ අතර එතුමන් මහින්ද්‍රා අයිඩියල් ලංකා මෝටර් රථ එකලස් කිරීමේ අංගනයේ ක්ෂේත්‍ර චාරිකාවකට ද එක් වෙමින් නව Bolero City Pik-Up රථය එකලස් කිරීමේ ක්‍රියාවලිය ද නිරීක්ෂණයට ලක් කළේය. 


වැලිපැන්න ප්‍රදේශයේ පිහිටා ඇති මෙම වැඩබිම 2019 වසරේ අගෝස්තු මස M&M Ltd. සහ අයිඩියල් සමූහයේ සම හවුල්කාරීත්වය යටතේ ආරම්භ කරනු ලැබූවකි. M&M යනු කුඩා පරිමාණ වෙළඳ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන අතර සමාගමේ pickup වර්ගයේ රථ අතරට මෙම නව මාදිලිය ද එක් වීම මෙරට වාහන වෙළඳපොළ තුළ සමාගම විසින් දිනා ඇති ප්‍රමුඛස්ථානය තවත් ශක්තිමත් කිරීමට  හේතුවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා,”කර්මාන්ත අමාත්‍යංශය අපි භාර ගත්තාට පසුව අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ ද කැපවීමෙන් ඉතාම කෙටි කාලයක් තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය(SOP) සකසා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එයට පූර්ණ අනුමැතිය ලබා ගැනීමට හැකිවුණා. එම සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම මගින් අපි බලාපොරොත්තු වුණේ දේශීය වශයෙන් වාහන නිපදවීමේ ප්‍රවණතාව, එහෙම නැතිනම් දේශීය වශයෙන් අගය වැඩි වැඩියෙන් එකතු කරමින් වාහන එකලස් කිරීමේ කර්මාන්තය ඉතාමත් ප්‍රබල ඉදිරි ගමනක් කරා රැගෙන යන්න. ඒ වනවිට රජය රට තුළ පැවැති ආර්ථිකමය විශේෂ හේතු මත වාහන ආනයනය නතර කර තිබුණා. ඒ නිසාම මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ යෙදී සිටි අයට මෙන්ම යෙදී නොසිටි අයට මෙම ක්ෂේත්‍රය කරා අවතීර්ණ වන්න එයත් එක්තරා ආකාරයක අපේක්ෂා නොකළ උත්තේජනයක් වුණා.


අද මේ එළිදක්වනු ලබන Bolero City Pik Up  රථය ගත්තත් සියයට 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක දේශීය අගය එකතු කිරීමක් සිදු කර තිබෙනවා. එමගින් දේශීය වශයෙන් වාහන උපාංග නිපදවන පිරිසට ඔවුන්ගේ ආදායම් වැඩි කර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම අපේ තරුණ දරුවන්ට ඔවුන්ගේ තාක්ෂණික දැනුම මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්තයට එකතු කිරීමට ද හැකිවී තිබෙනවා. ඒ ආකාරයට විශාල පිරිසකට මෙමගින් ප්‍රතිලාභ රැසක් ලැබෙන තත්ත්වයක් උදාවී තිබෙනවා.


උත්සව සභාව අමතමින් අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලින් වෙල්ගම මහතා, “අයිඩියල් මෝටර්ස් සහ M&M දශකයක පමණ කාලයක් තිස්සේ සහයෝගයෙන් කටයුතු කරමින් පාරිභෝගිකයන් වෙත උපරිම වටිනාකමක් ඇති නිපැයුම් පෙළක් දායාද කරන්නට සමත්ව තිබෙනවා. දේශීය සැපයුම්කරුවන් සවිබල ගන්වමින් දේශීයත්වයේ අගය මෙම නව Bolero City Pik-up රථයට එක් කරන්නට හැකි වීමත් විශේෂත්වයක්. ‘ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත’ පළමු Pickup රථය වන මෙය මෙරට වෙළඳපොළටත් වඩාත් හොඳින් ගැළපෙන නිෂ්පාදනයක්. අපගේ දීප ව්‍යාප්ත මහින්ද්‍රා අලෙවි ප්‍රදර්ශනාගාර ජාලය සහ බලයලත් සේවා නියෝජිත ජාලය සමඟින් මෙම වාහන මාදිලිය තුළ අපගේ වෙළඳපොළ ප්‍රමුඛතාව තහවුරු කරන්නට හැකි වනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙන් ප්‍රකාශ කළේය.

වැඩි ඉඩකඩක් සහිත වීම, අධි බලැති එන්ජිම ඇතුළු විශේෂාංග රැසක් සමඟින් එන නව Bolero City Pik-Up රථය වඩාත් පහසු හැසිරවීමක් සහිත රථයකි. සවිමත් සස්පෙන්ෂන් පද්ධතිය නිසා විවිධ ප්‍රමාණයේ බර සමඟ නගරාන්තර ධාවනයට වැඩි පහසුවක් මෙමඟින් ලබා දෙයි. මෙහි කැබින් කොටස ද වැඩි සුවපහසුවකින් යුතුව නිපදවා ඇති අතර රියදුරුට සහායකට ද පුළුල් අසුනක් ලබා දී තිබීම මෙහි ඇති එක් විශේෂත්වයකි.

නගරබද සහ නගරාන්තර වෙළඳ ගමනාගමන කටයුතු සඳහා වඩාත් සුවපහසුවක් සලසන රථයක් වන නිසා දිවයින පුරා වෙළඳ භාණ්ඩ බෙදාහැරීම වැනි කටයුතු සඳහා මෙම නව Bolero City Pik-Up රථය වඩාත් යෝග්‍යතම Pick up මාදිලියේ රථයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. මාස 12ක වගකීම / 50,000 km සහ අවම නඩත්තු වියදම නිසා පාරිභෝගිකයාට වැඩි ප්‍රතිලාභයක් මෙමඟින් ලැබිය හැකි බවට සහතික කළ හැකිය. කෝවිඩ් 19 වසංගත තත්ත්වයේ පහළ යාමත් සමඟ ක්‍රමයෙන් විවෘත වූ මෙරට වෙළඳපොළ තුළ වෙළඳ වාහන සඳහා ඇති ඉල්ලුම අනාගතයේදී ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

මහින්ද්‍රා අයිඩියල් ලංකා (MILPL) සමාගම මේ වන විටත් එම අපේක්ෂිත වෙළඳපොළ ඉල්ලුමට සරිලන pickup මාදිලියේ රථ නිෂ්පාදනය වේගවත් කොට ඇත. මහින්ද්‍රා වෙතින් පිට පිටම හඳුන්වා දෙනු ලැබූ දෙවැනි රථය මෙය වන අතර මීට ඉහත එනම්, 2020 ජුලි මසදී හඳුන්වා දුන් KUV100 රථය ද මෙරට වෙළඳපොළ තුළ ඉතා ඉහළ ජනප්‍රියත්වයකට පත් විය.

හඳුන්වා දෙන නව Bolero City Pik Up රථය ගැන තව දුරටත්

මෙම නව Bolero City Pik-Up රථය මහින්ද්‍රා තාක්ෂණයෙන් බලගැන්වූවක් වන අතර 2,523cm3, m2Di සිලින්ඩර් 4 ඩීසල් එන්ජිමකින් සමන්විතය. 46.3 kW (63 HP) බලයක් සහිත මෙම එන්ජිමේ භ්‍රමණ වේගය 195 Nm වේ. මේ නිසා Bolero City Pik-Up රථයට 1400 kg ක විශාල බරක් වුවද පහසුවෙන් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී. ක්‍රීඩාශීලී පෙනුමින් යුතු ආකර්ෂණීය ප්‍රධාන ලාම්පු පද්ධතිය, ඉදිරිපස ක්‍රෝම් ග්‍රිල්, නවීන පන්නයේ ද්විත්ව උපාංග පැනලය සහ දොර කොටසට ගැළපෙන සුවපහසු ෆැබ්‍රික් ආසන ද ඇතුළත්ව තිබීම නිසා වඩාත් සිත්ගන්නාසුලු දැකුම්කළු පෙනුමක් මීට ලැබී ඇත