ජීවිත පුද කොට රැක ගත් කොවිඩ් පාලනය ඇතැමුන් විනාශ කිරීමට උත්සාහ දරනවා – සෞඛ්‍ය ඇමති

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු බොහෝ පිරිස් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත් කොවිඩ් පාලනය ඇතැමුන් විරෝධතා උද්ඝෝෂණ ඔස්සේ හිතාමතා විනාශ කිරීමට පහත් මට්ටමේ උත්සාහයන් ගනු ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ජනතාවගේ මූලික අයිතියක් වන සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් ඔවුනට ලබා දීම රජයක වගකීම බවත් එනිසා රටෙහි සියලු පුරවැසියන් වෙනුවෙන් එය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බැඳී සිටින බවත් අමාත්‍යවරයා කීය. අද (15) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කීය.

කිසියම් කණ්ඩායමක් මේ මොහොතේ ජනතාව ඒකරාශී කරවීමට පහත් අයුරින් කටයුතු කරන්නේ නම් එය සමස්ත ජනතාවගේම සෞඛ්‍යට මහත් තර්ජනයක් කිරීමක් යැයිද හෙතෙම පැවසීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

කොවිඩ් වසංගතය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ ගැසට් පත්‍රයෙහි රටේ ජනතාව යම් යම් සීමාවන් තුළ හැසිරීම පිළිබඳව ප්‍රකාශයට පත් කරන්නට යෙදිණි. ඒ තුළ පුද්ගල ඒකරාශී වීම් සම්බන්ධව පැහැදිලිව අර්ථ දක්වා තිබෙනවා. එහෙත් අද අපේ රටේ විපක්ෂය එය උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට උත්සාහ දරන බව පෙනී යනවා. ඔවුන්ගේ පැත්තෙන් විරෝධතා , උද්ඝෝෂණ පැවැත්වීම මෙන්ම මේ සඳහා විවේචන ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් නැහැ. එහෙත් ඒ සඳහා මෙය නිවැරදි කාලය දැයි අවබෝධ කරගතයුතුව තිබෙනවා.

ඒ අනුව ප්‍රසිද්ධ රැස්වීම් , ප්‍රසිද්ධ ස්ථාන වල පුද්ගල ඒකරාශී වීම් තාවකාලිකව නවතා තිබෙනවා. මෙය කොවිඩ් ව්‍යසනය තවදුරටත් අවම තත්ත්වයට පත්වන තෙක් ක්‍රියාත්මක කෙරේ.

සමහරුන් කියනවා අපි මුළු රටම ගෙනල්ලා කොළඹ හොල්ලනවා කියා. මෙවැනි විරෝධතා උද්ඝෝෂණ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල අපි දැක තිබෙනවා. විරෝධතා උද්ඝෝෂණ කිරීමට ජනතාවට එවැනි අයිතියක්ද තිබෙනවා. එහෙත් මේ මෙහෛාතේ මෙවැනි ප්‍රකාශ මෙන්ම එවැනි උත්සාහයන් තුළින් බරපතල ව්‍යසනයක සේයා මතු වෙමින් තිබෙනවා. කිසිදු විරෝධතාවක් උද්ඝෝෂණයක් සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ කිසිසේත් සිදුවන්නේ නැහැ. මේවා මුළුමනින්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ අමු අමුවේ උල්ලංඝණය කරමින් සිදුවේ.එවැනි තත්ත්වයන් තුළ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවේ සුරක්ෂිතතාව උදෙසා අමාත්‍යාංශය ලෙස අපට පෙනී සිටීමට සිදු වෙනවා.

ජීවිත පරදුවට තබා කර ගෙන ආ කොවිඩ් පාලනය නිසාවෙන් රට මේ වන විට ජාත්‍යන්තර ප්‍රසාදයට පවා ලක්ව තිබෙනවා මේ තුළ ඉතාමත් අවාසනාවන්ත ලෙස පටු අරමුණු ඉෂ්ට කරගැනීමට යම් පිරිසක් උත්සාහ ගන්නේ නම් අපට එයට එකඟ විය නොහැකිය. මෙම අවාසනාවන්ත වැඩපිළිවෙලට කවුරුන් හෝ සහය දක්වන්නේ නම් එය  රටෙහි උපන් නූපන් පරපුරට එරෙහි වීමකි.

ගතවුූණු වසර දෙකකට ආසන්න කාලය තුළ විවිධ අත්දැකීම් ඔස්සේ කොවිඩ් පාලන ක්‍රියාවලිය විශාල වශයෙන් ජයගත් අප යම් අවස්ථාවන්හි අමිහිරි තත්ත්වයන්ට පවා මුහුණ දෙනු ලැබුවා. එන්නත් කිරීම ආරමිභක අවස්ථාවේ එයට එරෙහිව විපක්ෂය විවිධ ප්‍රචාර ගෙනගියද අප මේ වන විට සමස්ත ජනගහනයෙන් 72.4% කට එනනත් ලබා දී තිබෙනවා. ඉලක්කගත පාසල් සිසුන්ගෙන් 70% ක්, අවුරුදු 20-29 කාණ්ඩයෙන් 59.3% ක් එන්නත්කරණයට ලක් කර තිබෙනවා. තුන්වන එන්නතක් සඳහා මේ වන විට යොමුව ඇත්තේ ලොව රටවල් කිහිපයක් පමණි. ඉන් ජයගත් අප මේ වන විට බූස්ටර් එන්නත ලබා දෙමින් තිබෙනවා. මේ ව විට මිලියන 14.5 ක එන්නත් ඒ වෙනුවෙන් ඇණවුම් කර තිබෙනවා. සෞඛ්‍ය අංශ ඇතුළු ඉදිරිපෙළ පිරිස් සඳහා එම එන්නත ලබා දීමෙන් අනතුරුව අවුරුදු 60 න් ඉහළ පිරිස් සඳහා ප්‍රමුඛතාව මත එන්නත් ලබා දීම සිදු කරනවා.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගණවර්ධන මහතාද එක්ව සිටියේය.